ලංකා හොස්පිටල්ස් (Lanka Hospitals PLC) විසින් සංවිධානය කරන ලද “විශිෂ්ටත්වයේ හදගැස්ම – (Pulse Of Excellence)” සම්මාන උළෙල පසුගියදා (26) එම රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ද එක්ව සිටියේය.
පසුගිය වර්ෂයේදී රෝහල අත්කරගත් සුවිශේෂී කාර්යසාධනයන් ඇගයීම සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය වෙනුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය දැක්වූ අඛණ්ඩ කැපවීම සැමරීම මෙම උළෙලේ අරමුණ විය. මෙහිදී හෘද රෝහ, බැරියාට්‍රික් ශල්‍යකර්ම, බාහිර රෝගී (OPD) සහ විකිරණ විද්‍යාව වැනි අංශ මෙන්ම ස්නායු විද්‍යාව (Neurosciences), ගුණාත්මක තත්ත්ව සහතික කිරීම (Quality Assurance), ආසාදන වැළැක්වීම සහ පාලනය, අලෙවි (Marketing) ඇතුළු දෙපාර්තමේන්තු කිහිපයක් ජාතික සහ ජාත්‍යන්තර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. එසේම ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් (Lanka Hospitals Diagnostics (Pvt) Ltd) ආයතනය ද විශේෂ ඇගයීම් සම්මානයට පාත්‍ර විය.
තවද, ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ කළමනාකරණය (Antimicrobial Stewardship) සඳහා වූ ප්‍රථම පෞද්ගලික උපදේශක රෝහල ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ලංකා හොස්පිටල්ස් නම් කිරීම ද මෙහිදී විශේෂ ඇගයීමට ලක් කෙරිණි. උළෙලේ සුවිශේෂී අවස්ථාවක් ලෙස රෝහල් ජංගම විද්‍යාගාර සේවාව (LHD Mobile Laboratory) අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් දියත් කෙරිණි.
උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රටක් ලෙස ආර්ථික අස්ථාවරත්වයෙන් ගොඩ ඒමට මූල්‍ය විනය අතිශයින් වැදගත් බවයි. 2025 වර්ෂයේදී රුපියල් බිලියන 5500ක රාජ්‍ය ආදායමක් උපයා ගැනීමට රජයට හැකි වූ බවත්, එය මේ දක්වා ලැබූ ඉහළම ආදායම බවත් ඔහු සිහිපත් කළේය. දළ ජාතික නිෂ්පාදිතයෙන් 8% – 9%ක්ව පැවැති රාජ්‍ය ආදායම මේ වන විට 17%ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකිවී ඇත්තේ මූල්‍ය විනය පවත්වාගෙන යාම නිසා බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.














