ලබන ඉරිදා ලන්ඩන් නුවර පැවැත්වීමට නියමිත වාර්ෂික අල් කුඩ්ස් (Al Quds) දින පෙළපාලිය අතරතුර ඉරාන පාලන තන්ත්‍රයට, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට (IRGC) හෝ ඔවුන්ගේ හිතවාදී සන්නද්ධ කණ්ඩායම්වලට සහාය පළ කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස බ්‍රිතාන්‍ය රජය පොලිසියට උපදෙස් දී තිබේ. බ්‍රිතාන්‍ය අධිකරණ අමාත්‍ය සාරා සැක්මන් (Sarah Sackman) ප්‍රකාශ කළේ මෙවැනි “වෛරී සහගත පාගමන්” සඳහා බ්‍රිතාන්‍ය සමාජය තුළ ඉඩක් නොමැති බවයි.
ඉස්ලාමීය මානව හිමිකම් කොමිසම (IHRC) විසින් සංවිධානය කරනු ලබන මෙම පාගමන වසර 40ක පමණ සිට සාමකාමීව පවත්වන්නක් බව සංවිධායකයන් පැවසුවද, මීට පෙර පැවති අවස්ථාවලදී බ්‍රිතාන්‍යය තුළ තහනම් කර ඇති හිස්බුල්ලා (Hezbollah) සංවිධානයේ කොඩි ප්‍රදර්ශනය කිරීම සහ ඇමරිකාවට හා ඊශ්‍රායලයට එරෙහිව ප්‍රචණ්ඩකාරී වැකි භාවිතා කිරීම පිළිබඳව වාර්තා වී තිබේ. ඉරානය සහ ඊශ්‍රායලය අතර වත්මන් යුදමය තත්ත්වය උත්සන්න වී ඇති පසුබිමක මෙම පෙළපාලිය පැවැත්වීම ආරක්ෂක අංශවල දැඩි අවධානයට ලක්ව ඇත.
අමාත්‍යවරිය අවධාරණය කළේ බ්‍රිතාන්‍යයට එරෙහිව වෛරය පතුරවන සහ සතුරු ආකල්ප දරන පිරිස්වලට එරෙහිව ස්වදේශ කටයුතු ලේකම්වරයා සහ පොලිසිය අවශ්‍ය බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග ගත යුතු බවයි. මෙම තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය වුවහොත් මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිත පෙළපාලිය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පවා පියවර ගන්නා බවයි.
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී වතාවරණය ලෝකයේ අනෙකුත් ප්‍රධාන නගරවල සිවිල් සාමයට ද මෙලෙස සෘජු බලපෑමක් එල්ල කර ඇති අතර, ජාත්‍යන්තර දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබඳව බ්‍රිතාන්‍ය රජය දක්වන මෙම දැඩි ස්ථාවරය පිළිබඳව දේශපාලන විචාරකයෝ විවිධ මත පළ කරති.














