27 April 2024
#දේශීය

ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය දිගු කල් දිනේවා! චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවත්සරය වෙනුවෙන් ඇමැති විමල් සුබ පැතුම් එක්කරයි

අධිරාජ්‍ය විරෝධී ලෝක ජනයාට තවතවත් ශක්තියක් වෙමින් අධිරාජ්‍යවාදී වහල් බැමි ලෝක පරිමාණව සුණුවිසුණු කිරීමේ සටන ජයග්‍රහණයෙන් කෙලවර කරවීමට චීන කොමියුනිස්ට් පක්ෂයට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා මෙන්ම ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය දිගු කල් දිනේවා යැයි කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශය මහතා පවසයි.

2021-06-15 දින සූම් තාක්ෂණය ඔස්සේ පැවති ”චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සර සැමරුම” වෙනුවෙන් කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශයන් ඉදිරිපත් කළ සමරු සුබපැතුම් දෙසුමෙහි ලිඛිත සටහන මෙසේය.

”චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සැමරුමට ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් පෙරමුණේ උණුසුම් සුබ පැතුම්!

වර්ෂ 1919 දී චීනයේ දී ආරම්භ වූ මැයි 04 ව්‍යාපාරය, මාක්ස්වාදය මෙන්ම ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය තුළ වන ජීවගුණයන්ගේ දැවැන්ත බලපෑමට ලක්වූ ව්‍යාපාරයකි. මැයි 04 ව්‍යාපාරයේ කටයුතු ඉදිරියට දිව යද්දී චෙන් ඩුක්සිහු සහ ලයි තා චෝ වැනි බුද්ධිමතුන් ධනාත්මක බලපෑම් කළහ. ඒ හේතුවෙන් 1921 අගෝස්තු 01වැනිදා නූතන ලෝකයේ අධිරාජ්‍ය විරෝධයේ පහන් ටැඹ වූ චීන කොමියුනිස්ට් පක්ෂය බිහි කරලීමට සමත් විය. එය චීන ජනයාගේ ජයග්‍රහණයකට වඩා සමස්ත ලෝක වාසී ජනයාගේ ජයග්‍රහණයක් ලෙස ජාතික නිදහස් පෙරමුණ සලකන බව අභිමානවත්ව චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය සමරන මේ අවස්ථාවේදී ගෞරව පූර්වකව ප්‍රකාශ කරමු.

චීන කොමියුනිස්ට් පක්ෂයට යෝධ නායකත්වයක් සැපයූ මා ඕ සේතුං නම් වූ දැවැන්ත නායකයා, ලෝකය චීන සිවිල් යුද්ධය ලෙස හැඳින්වුවත් අපගේ දැක්මට අනුව චීන නිදහස් සටන 1949 ඔක්තෝබර් 01වැනි දා ජයග්‍රහණයෙන් අවසන් කරන්නේ චීන මහජන සමූහ ආණ්ඩුව නම් ප්‍රබල අධිරාජ්‍ය විරෝධී රාජ්‍යය ශක්තිමත් කුළුණු මත ගොඩ නගමිනි. එතැන් පටන් චීනය ලෝක ඉතිහාසය තුළ තබා ඇති සලකුණු සහ ලබා ගත් ජයග්‍රහණ හුදු චීන කොමියුනිස්ට් පක්ෂයේ හෝ චීන මහජනයාගේ ජයග්‍රහණයකට වඩා සමස්ත ලෝක ජනයාගේ ජයග්‍රහණයක් ලෙස සැලකීම අපගේ කැමැත්තයි.

ගෞතම බුදුන් වහන්සේ විසින් ලෝකයට හඳුන්වා දුන් අල්පේච්ඡ පුද්ගල ජීවිත මත ගොඩනැගුණු ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරයට සමාජවාදය යන්න අහසින් පහත්වූ සංකල්පයක් නොවන්නේය. බටහිර අධිරාජ්‍යවාදී ජාතීන් වසර 500ක කාලයක් අප රට පාලනය කළ ද අධ්‍යාත්මිකව ඔවුනට සම්පූර්ණයෙන් නතු කිරීමට නොහැකි විය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ සබඳතා ඇති කර ගෙන තිබුණේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයවාදියාගෙන් නිදහස් වීමටත් ප්‍රථමව මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂය චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමටත් පෙර සිට වීමෙන් අප නගන තර්කය මොනවට තහවුරු වේ.

1948 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියාගෙන් නාමිකව නිදහස් විය. නමුත් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට 1956 වර්ෂයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ප්‍රමුඛ ජාතිකවාදී අධිරාජ්‍ය විරෝධී දේශපාලන බලවේග විසින් ආණ්ඩුවක් පිහිටුවීය. එම, අධිරාජ්‍ය විරෝධී ආණ්ඩුව මුලින්ම තානාපති සබඳතා ඇති කර ගත් රාජ්‍යයන් අතර මහජන චීන සමූහ ආණ්ඩුව ප්‍රමුඛ වීමෙන් ශ්‍රී ලාංකිකයාගේ අධිරාජ්‍ය විරෝධයේ තරම වර්ණ ගැන්වූ බව නොකිවමනාය.

ඒ අනුව 1957 දී අප දෙරට ශක්තිමත්ව බැඳ තැබුවේ වසර 2000කට වැඩි කාලයක් තිස්සේ චීනය සහ ශ්‍රී ලංකාව අතර තැබූ ඓතිහාසික බැඳීම බව අපගේ විශ්වාසය ය.

චීන කොමියුනිස්ට් පක්ෂය චීන ජාතියේ ඓතිහාසික ගමන් මග තුළ වරින් වර විවිධ නායකයන් චීන කොමියුනිස්ට් පක්ෂය මෙහෙයවීමට තෝරා පත් කර ගනු ලබන්නාහ. රාජ්‍ය පාලනය සහ පක්ෂ දේශපාලනය තුලනය කිරීම පිණිස අත්හදා බැලූ සාර්ථක උපක්‍රමයක් ලෙස චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයාම මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයා වන්නේය. එම සෑම නායකයකුටම ඉතිහාසය විසින් පවරාලනු ලබන්නේ ඉතා තියුණු අභියෝගයන්ය.

ලෝක අධිරාජ්‍ය විරෝධී සමාජවාදී කඳවුරට ඉතිහාසය විසින් සමාජවාදය යාවත්කාලීන කිරීමට බල කළ බවට ඉතිහාසය සාක්ෂි සපයයි. ඒ අනුව ලෝක අධිරාජ්‍ය විරෝධී සමාජවාදී ගමන් මග තුළ සමාජවාදය යාවත්කාලීන කිරීම පිණිස චීන කොමියුනිස්ට් පක්ෂය වෙළෙඳපොළ සමාජවාදය නම් ප්‍රපංචය දේශපාලන සාහිත්‍යයට හඳුන්වා දී මහපොළොවේ පිහිටුවීම සම්බන්ධයෙන් අධිරාජ්‍යවාදී සතුරා පවා වික්ෂිප්ත වූ බව මේ අවස්ථාවේ අවධාරණය කළ යුතුමය. එය, වෙනස්වීමට බිය නොවීමේ මහඟු විප්ලවකාරි ගුණය මෑත කාලීනව, විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරවලට ආදර්ශයෙන්ම පෙන්වා දෙන ලද අවස්ථාවකි.

වර්තමාන චීන ජනාධිපති ක්ෂී ජීන්පින් මහතාට 2012 වසරේ නොවැම්බර් 15 වැනි දින චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි මධ්‍යම කාරක සභා සම්මේලනය විසින් චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයත් චීන මහජන සමූහ ආණ්ඩුවේ නායකත්වයත් පවරා දුන්නේය.

21 වන සියවස මුල් භාගය තුළ අධිරාජ්‍යවාදීන් විසින් චීන මහජන සමූහ ආණ්ඩුවටත් සමස්ත ලෝක ජනයාගේ පැවැත්මට එරෙහිවත් ගන්නා වූ තිරස්චීන මැදිහත්වීම් සාර්ථකව මර්දනය කර අනාගත ලෝකය මනුෂ්‍ය වාසයට සුදුසු භූමියක් බවට පත් කරලීම චීන කොමියුනිස්ට් පක්ෂ නියමුවා මෙන්ම මහජන චීන සමූහ ආණ්ඩුවේ ජනාධිපතිවරයාට චීන කොමියුනිස්ට් පක්ෂය පවරා දුන් වගකීම යැයි අපගේ අවබෝධයයි.

ජනාධිපති ක්ෂී ජින් පින් මහතා එම අභියෝගයන් ජයගත් බවට සාක්ෂි සපයන්නේ අධිරාජ්‍යවාදී රටවල වියතුන්, බුද්ධිමතුන් සහ ඔවුන්ගේ ඒකාධිපතිවාදී මාධ්‍යයන්ම වීම එක් අතකින් ඓතිහාසික සරදමකි. අධිරාජ්‍යවාදී රටවල සමහර ආර්ථික විද්‍යාඥයන්ට අනුව, චීන ආර්ථිකය ලෝකයේ අංක එකේ ආර්ථිකයට හිමිකම් කියනවා යැයි පවසන අමෙරිකා එක්සත් ජනපද ආර්ථිකය පරදවා ඇත. කොල්ලකාරී, ම්ලේච්ඡ ආර්ථික ක්‍රමවේදයක් අනුගමනය කරන අමෙරිකාවේ ආර්ථිකය මහජන චීන සමූහ ආණ්ඩුව විසින් පරදවා බොහෝ කල් බව අපගේ පිළිගැනීමයි.

කොවිඩ් 19 වෛරසයෙන් මුලින්ම බැට කෑවේ චීන මහජන සමූහාණ්ඩුව ය. එම වෛරසය පාලනය කිරීමට චීන සාම්ප්‍රදායික දැනුම, බටහිර වෛද්‍ය විද්‍යා දැනුම සහ කොමියුනිස්ට් පාලනය තුළ මහජනයා ලබා ගත් ශික්ෂණය එකට මුසු කිරීමට මහජන චීන සමූහ ආණ්ඩුවට හැකි වූයේ ජනාධිපති ක්ෂී ජීන්පින් මහතා ලබාදෙන නිවැරැදි නායකත්වය නිසා බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.එතැනින් නොනැවතුණු ජනාධිපති ක්ෂි ජින්පින් මහතාගේ නායකත්වය තමන් සොයාගත් නව දැනුම සියලුම රටවල කොවිඩ් 19 වෛරස වසංගතය සුව පත් කිරීම වෙනුවෙන් බෙදා දීමට තරම් නිර්ලෝභී විය.

ජනාධිපති ක්ෂි ජින්පින් මහතාගේ නායකත්වය තුළ වසර 8ක් වැනි කෙටි කාලයක් තුළදී චීනයේ මිලියන 100කට ආසන්න වූ චීන ජනයා දරිද්‍රතාවයේ රේඛාවෙන් ඉහළ මට්ටමට ඔසවා ලීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට හැකි වීම ලෝක ඉතිහාසය දිගේ පහළට ගමන් කරන ඉතිහාස ගවේෂකයකුට හමුවන වටිනාම සන්ධිස්ථානයක් බව පැවසීමට අපි නිරහංකාර වන්නෙමු.

චීන ජනයාට එවැනි දැවැන්ත ජයග්‍රහණ අත්පත් කර දෙමින් අප වැනි පරිධියේ රටවල් අධිරාජ්‍යවාදී අතපෙවීම්වලින් ආරක්ෂා කර ගැනීමටත් එම රටවල ආර්ථික අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමටත් දෙනු ලබන සහයෝගය සමාන කිරීමට ලෝක සිතියම තුළ සමානයෙකු හමු නොවන බව පැවසීම අතිශයෝක්තියක් නොවන බව අපගේ අවබෝධයයි.

අවසාන වශයෙන් අධිරාජ්‍ය විරෝධී ලෝක ජනයාට තවතවත් ශක්තියක් වෙමින් අධිරාජ්‍යවාදී වහල් බැමි ලෝක පරිමාණව සුණුවිසුණු කිරීමේ සටන ජයග්‍රහණයෙන් කෙලවර කරවීමට චීන කොමියුනිස්ට් පක්ෂයට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවායි පතමින් නිහඬ වෙමු.

චීන කොමියුනිස්ට් පක්ෂය චිරාත් කාලයක් දිනේවා!

ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය දිගු කල් දිනේවා!

Leave a comment

Your email address will not be published. Required fields are marked *