ලෝක ප්‍රකට බොලිවුඩ් සිනමාව හරහා පකිස්ථානයේ කරච්චි නුවර පිහිටි ‘ලියාරි’ (Lyari) නගරය නිරූපණය කරන්නේ දරුණු කල්ලි කණ්ඩායම්, පාතාල ප්‍රචණ්ඩත්වය සහ අඳුරු වීදි සහිත භයානක කලාපයක් ලෙසයි. බොලිවුඩයේ වාර්තා පිට වාර්තා තැබූ සහ ඩොලර් මිලියන 100කට වඩා ආදායම් ඉපැයූ Dhurandhar සහ එහි නවතම චිත්‍රපටය වන Dhurandhar The Revenge හරහා ද පෙන්වන්නේ ඉන්දීය ඔත්තු සේවය (R&AW) මඟින් ලියාරි හි පාතාල ජාලයන් මර්දනය කරන ආකාරයයි. සිනමා තිරය විසින් ජාත්‍යන්තරය හමුවේ මවන මෙම ප්‍රබන්ධ අඳුරු ප්‍රතිරූපය අපරාධකරුවන්ගේ තිප්පලක් ලෙස ලියාරි නගරය හංවඩු ගසා තිබේ.
කෙසේ වෙතත්, සිනමා තිරයේ පෙන්වන මෙම අඳුරු ප්‍රතිරූපයට බොක්සිං අත්වැසුම්වලින් ප්‍රහාර එල්ල කරමින්, ලියාරි නගරය මේ වන විට සැබෑ බොක්සිං තෝතැන්නක් ලෙස ලෝකය හමුවේ නැගී සිටියි. මෙම නිහඬ විප්ලවයේ පෙරගමන්කරුවෙකු වන්නේ 60 හැවිරිදි බොක්සිං පුහුණුකරුවෙකු වන යූනුස් කම්බ්‍රානි (Younus Qambrani) මහතායි. ඔහු තමන්ගේ ‘පැක්-ෂාහීන්’ (Pak-Shaheen) බොක්සිං සමාජය හරහා ලියාරි හි තරුණ තරුණියන්ගේ, විශේෂයෙන්ම ගැහැණු ළමයින්ගේ ජීවිත ක්‍රීඩාවෙන් හැඩගැස්වීමට වෙහෙස නොබලා කටයුතු කර තිබේ.
සැබෑ ලියාරි හි කොන්ක්‍රීට් තට්ටු මතින් අද ඇසෙන්නේ කල්ලි කණ්ඩායම්වල වෙඩි හඬ නොව, අනාගත ලෝක ශූරයන් වීමට වෙහෙසෙන තරුණ සිසුන්ගේ බොක්සිං අත්වැසුම් ගැටෙන හඬ සහ සපත්තු සීරෙන හඬයි. ලියාරි හි තාරුණ්‍යය සිනමා ලේබල්වලට කොටු නොවී, ක්‍රීඩාවේ ජවයෙන් තමන්ගේ සැබෑ අනන්‍යතාවය ලෝකයටම පෙන්වා දෙමින් සිටියි.
















