ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් සඳහා අර්ධ වශයෙන් ඉදිකර අතරමග නවතා දමා ඇති අත්තිඩිය පොලිස් අභ්‍යාස ආයතනය නිරීක්ෂණය කිරීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ (05) නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 2001 වසරේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කර, රුපියල් මිලියන 329.7ක පිරිවැයක් දරමින් මූලික කටයුතු නිම කළ මෙම ආයතනයේ ඉදිකිරීම් කටයුතු 2008 වසරෙන් පසු සම්පූර්ණයෙන්ම නවතා දමා තිබිණි.
මෙම ආයතනය ප්‍රමිතිගත පොලිස් අභ්‍යාස මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපනය කිරීමට ඇති හැකියාව අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර, ශ්‍රී ලංකා පොලිසිය වෙත ගුණාත්මක ඉහළ මට්ටමේ විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ ශක්‍යතාව පිළිබඳව ද විමර්ශනය කිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය. නූතන තාක්ෂණය සමඟ යාවත්කාලීන වූ උසස් පුහුණුවක් පොලිස් නිලධාරීන්ට ලබා දීම වර්තමානයේ අත්‍යවශ්‍ය කරුණක් බව ඔහු අවධාරණය කළේය.
විශේෂයෙන්ම, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ඊට සරිලන නව අධ්‍යයන පාඨමාලාවන් මෙම පුහුණු මධ්‍යස්ථානයට ඇතුළත් කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. අතරමග නතර වූ ඉදිකිරීම් යළි ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැය යෝජනා හරහා වෙන් කරවා ගැනීමට සහ ඒ සම්බන්ධයෙන් ඉදිරි තීන්දු තීරණ ගැනීමට අමාත්‍යවරයා අපේක්ෂා කරයි.
















