ඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදීමේ සිදුවීම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා දැඩි ලෙස හෙළා දැක තිබේ. මෙය බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත්, අසල්වැසි රටවල් අතර පවතින අන්‍යෝන්‍ය ගෞරවයට හා විශ්වාසයට ඉන් දැඩි බලපෑමක් එල්ල වන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඕනෑම රටක මූලික වගකීමක් වන්නේ මහජනතාවගේ ආරක්ෂාව සහ ගෞරවය තහවුරු කිරීම බවත්, මෙම ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.
ඉන්දීය ධීවරයින් දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වුවද, ශ්‍රී ලාංකික ධීවරයින් සැමවිටම ඔවුන් දෙස සහෝදරත්වයේ හැඟීමකින් බලා සාමකාමීව කටයුතු කළ බව අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. කෙසේ වෙතත්, ඉන්දීය ධීවරයන්ගේ අක්‍රමවත් ධීවර පිළිවෙත් හේතුවෙන් මෙරට සමුද්‍ර සම්පත් කොල්ලකෑමට ලක්ව ඇති බවත්, එමගින් දේශීය ධීවරයාගේ ජීවනෝපායට බරපතළ හානි සිදුව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ගැටලු සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් සමඟ මට්ටම් කිහිපයකින් සාකච්ඡා පවත්වා ඇති අතර, නීතිවිරෝධී ධීවර කටයුතු වැළැක්වීම සඳහා දෙරට අතර ඒකාබද්ධ සහ ශක්තිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය අමාත්‍යවරයා අවධාරණය කළේය. අදාළ පහරදීම සම්බන්ධයෙන් වහාම සාධාරණ පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට නීතිමය පියවර ගන්නා ලෙසත්, මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නැවත ඇති නොවන බව සහතික කරන ලෙසත් ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. සියලු ගැටලු සාමකාමී සාකච්ඡා සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් විසඳා ගැනීම රජයේ ස්ථාවරය බව ද ඔහු මෙහිදී කියා සිටියේය.














