රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් “කුෂ්” සහ “හෑෂ්” මත්ද්රව්ය තොගයක් මෙරටට රැගෙන ආ චීවරධාරීන් 22 දෙනා මෙහෙයවූ බව පැවසෙන ප්රධාන චීවරධාරියා ගම්පහ, මීගහමුල්ල ප්රදේශයේදී අද (26) පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ චීවරධාරීන් පිරිසක් මෙතරම් විශාල මත්ද්රව්ය තොගයක් සමඟ අත්අඩංගුවට පත් වූ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.
සැකකාර චීවරධාරීන් පිරිස තායිලන්තයේ සංචාරයක නිරත වී ඊයේ (25) රාත්රියේ මෙරටට පැමිණි අවස්ථාවේදී ඔවුන්ගේ ගමන්මලු පරීක්ෂා කිරීමේදී ව්යාජ පතුල්වල සඟවා තිබූ කිලෝග්රෑම් 112ක මත්ද්රව්ය තොගය සොයාගෙන ඇත. පොලීසිය පවසන පරිදි අත්අඩංගුවට පත් පිරිසෙන් 21 දෙනෙකුම වයස අවුරුදු 30ට අඩු උසස් අධ්යාපනය හදාරන තරුණ භික්ෂූන් වන අතර, අනෙක් පුද්ගලයා පිරිවෙන් ආචාර්යවරයෙකි. මොවුන් ෆේස්බුක් ජාලය හරහා සම්බන්ධ කරගෙන ඇති අතර, නොමිලේ සංචාරය ලබාදෙන බව පවසමින් උපකරණ බෑග් රැගෙන ඒමට මොවුන් පොළඹවා ගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ත්රෛනිකායික මහනාහිමිවරුන් ප්රකාශ කර සිටින්නේ, අදාළ ශාසන විරෝධී ක්රියාවට සම්බන්ධ වී ඇති සියලු භික්ෂු ප්රතිරූපකයින් පිළිබඳව කරුණු සොයාබලා ඔවුන් වහාම ශාසනයෙන් නෙරපීමට කටයුතු කරන බවයි. සැකකරුවන් තායිලන්තයේදී ගිහි ස්වරූපයෙන් හැසිරෙන ඡායාරූප ද පොලීසිය සොයාගෙන ඇති අතර, පසුගිය මාසයේදී ද මොවුන් මෙවැනිම සංචාරයක් සිදු කර ඇති බවට තොරතුරු හෙළි වී ඇත. පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














