මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයට බලපා ඇති කරුණු සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදය ආරම්භ වූ ආකාරය, ඊට බලපෑ පරිපාලන හා තාක්ෂණික කරුණු මෙන්ම අදාළ ටෙන්ඩර් සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් දින 45ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට දැනුම්දී ඇත.
කාරක සභාවේදී රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය පිළිබඳවද සාකච්ඡා කර ඇති අතර, දැනට මුද්‍රණය සඳහා පවතින බලපත්‍ර ප්‍රමාණය ලක්ෂ 6.78ක් පමණ වන බව නිලධාරීන් සඳහන් කර තිබේ.
දෛනික මුද්‍රණ ධාරිතාව බලපත්‍ර 4,600ක් පමණක් වන බැවින් පවතින පසුබෑම තවදුරටත් වර්ධනය වන බවද ඔවුන් පෙන්වාදී ඇත. එම තත්ත්වය කඩිනමින් විසඳීම සඳහා ඔක්තෝබර් 15 වනවිට නව මුද්‍රණ යන්ත්‍ර දෙකක් ස්ථාපනය කර දෛනික මුද්‍රණ ධාරිතාව 8,200ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවද සඳහන් කර ඇත.
මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කර, ඉදිරියේදී මෙවැනි ප්‍රමාදයන් වැළැක්වීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාවද කාරක සභාව අවධාරණය කර තිබේ.
















