එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ඇමරිකානු ඩොලර් ලක්ෂ 8ක (800,000ක්) අල්ලසක් ලබාගත් බවට එල්ල වූ චෝදනාව මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, ඔහුගේ ආරක්ෂාව පිළිබඳව පවතින විශේෂ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් ඔහු මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ විශේෂ මැදිරියක රඳවා සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. එම විශේෂ මැදිරියේ ඔහු සමඟ තවත් රැඳවියන් දස දෙනෙකුද රඳවා ඇති අතර, දින 14ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රීවරයා ලබන 18 වනදා යළි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.















