ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ආරම්භ වී වසර 49ක් ඉක්මවා ගියද, ජල ගාස්තු සංශෝධනය සඳහා නිසි ප්‍රතිපත්තියක් මෙතෙක් සකස් කර නොමැති බව ජාතික විගණන කාර්යාලයේ නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබේ. 1990 සිට අවස්ථා 17කදී විවිධ ගාස්තු යටතේ ජල ගාස්තු සංශෝධනය කර ඇති අතර, 2022 සහ 2023 වසරවලදී ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට දැඩි බලපෑමක් එල්ල වන පරිදි අසාමාන්‍ය ලෙස ගාස්තු ඉහළ දමා ඇත. විශේෂයෙන්ම 2012 වසරට සාපේක්ෂව ගාස්තු 70%ක සිට 100% දක්වා ඉහළ නංවා ඇති අතර, ගෘහස්ථ පාරිභෝගික කාණ්ඩවල බිල්පත් 310%ක් වැනි අතිශය ඉහළ ප්‍රතිශතයකින් වැඩි වී ඇති බව නිරීක්ෂණය වේ.
මෙම අසාමාන්‍ය ගාස්තු වැඩිවීමට බැංකු පොලී අනුපාත, විදුලි හා ඉන්ධන මිල ඉහළ යාම පමණක් නොව, මණ්ඩලයේ පැහැදිලි කළමනාකරණ දුර්වලතා ද බලපා ඇති බව විගණන වාර්තාව පෙන්වා දෙයි. ව්‍යාපෘති ප්‍රමාද වීම නිසා ආදායම් අහිමි වීම, ආදායම් නොලබන ජල ප්‍රතිශතය ඉහළ යාම සහ බලශක්ති පිරිවැය අවම කිරීමේ ව්‍යාපෘති ප්‍රමාද වීම මෙයට ප්‍රධාන හේතු වේ. “සැමට ජලය” වැඩසටහන යටතේ ක්‍රියාත්මක උප ව්‍යාපෘති 106ක ප්‍රගතිය ඉතා පහළ මට්ටමක පැවතීම සහ ඉලක්කගත ජල සම්බන්ධතා ලබා දීමට නොහැකි වීම නිසා මණ්ඩලයට හිමිවිය යුතු ආදායම් විශාල ලෙස අහිමි වී ඇත.
එමෙන්ම, මෙහෙයුම් පිරිවැයෙන් 36%ක් සේවක පිරිවැය සඳහා වැය වන අතර, ව්‍යාපෘති නිසි කලට නිම කිරීමට අපොහොසත් වෙමින් අලාභ ලබමින් පවතින පසුබිමක වුවද, 2023 වසරේදී වාර්ෂික ප්‍රසාද දීමනා සහ දිරි දීමනා සඳහා රුපියල් මිලියන 894ක් වැය කර ඇත. සේවක සංඛ්‍යාව 12.89%කින් අඩු වුවද, එක් සේවකයෙකු වෙනුවෙන් දරන පිරිවැය 26.67%කින් ඉහළ ගොස් ඇති බව ද විගණන වාර්තාව වැඩිදුරටත් අනාවරණය කරයි.














