ගොවි ජනතාව මුහුණ දෙන මූල්‍ය දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා සහන පොලී ක්‍රමයට ණය ලබාදෙන වෙනමම බැංකුවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ගොවීන් වැඩි පොලියට බාහිරින් ණය ලබාගැනීම නිසා කෘෂිකාර්මික නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළ යන බවයි. මීට පිළියමක් ලෙස යෝජිත බැංකුව හරහා සෑම ගොවියෙකුටම වගා කරන අක්කරයකට රුපියල් ලක්ෂයක නිෂ්පාදන වියදම් ණයක් ලබාදීමට කටයුතු කරන බව ඔහු පැවසීය.
මීට අමතරව, චීන රජය සමඟ සාකච්ඡා කර සෑම ගොවි ව්‍යාපාරයකටම ‘කෘෂි උපකරණ මධ්‍යස්ථානයක්’ පිහිටුවීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය. එමඟින් ලෝකයේ පවතින නවීනතම ට්‍රැක්ටර්, ගොයම් කපන යන්ත්‍ර, ඩ්‍රෝන තාක්ෂණය සහ නියර සකසන යන්ත්‍ර ආදී නවීන කෘෂි උපකරණ ගොවීන්ට ඉතා සහනදායී මිලකට ලබාගැනීමේ අවස්ථාව සලසා දෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















