ශ්රී ලාංකේය තරුණ තරුණියන්ගේ වෘත්තීය කුසලතා වැඩිදියුණු කිරීම සහ සත්කාරක මෙන්ම සංචාරක ක්ෂේත්රය තුළ ජාත්යන්තර මට්ටමේ රැකියා අවස්ථා උදාකර දීමේ අරමුණින්, ජාතික යොවුන් සේනාංකය (NYC) සහ ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය (SHMA) අතර පවතින අවබෝධතා ගිවිසුම යාවත්කාලීන කිරීමට ඊයේ (14) පියවර ගනු ලැබීය.
තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශයේදී මෙම ගිවිසුම්ගත වීමේ අවස්ථාව පැවැත්වුණු අතර, ඒ සඳහා ජාතික යොවුන් සේනාංකයේ අධ්යක්ෂ බී.ඒ. ගාමිණී වික්රමපාල මහතා ඇතුළු නිලධාරීන් සහ ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමියේ සාමාන්යාධිකාරිනී ඩැනියෙලා මුණසිංහ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙම ඒකාබද්ධ වැඩසටහන මගින් දිවයින පුරා සිටින තරුණ ප්රජාවට ජාත්යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය පුහුණු අවස්ථා පුළුල් කරමින්, ඔවුන්ගේ අනාගත වෘත්තීය සාර්ථකත්වය වෙනුවෙන් ශක්තිමත් පදනමක් සැකසීම ජාතික යොවුන් සේනාංකයේ මූලික අපේක්ෂාවයි.
















