මෙරට වනාන්තර ආශ්‍රිතව සිදුවන අනවසර වගාකිරීම් හේතුවෙන් වනඅලි ජීවත්වන සීමාවන් අවහිර වීම සහ අලි-මිනිස් ගැටුම දරුණු ලෙස උත්සන්න වීම නිසා, මේ වසරේ (2026) ගතවූ මාස හතර හමාරකට ආසන්න කාලය තුළ පමණක් මෙරට වනඅලි මරණ 128ක් වාර්තා වී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිල වශයෙන් ප්‍රකාශ කරයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය ජනවාරි මස 01 වැනිදා සිට මැයි මස 15 වැනිදා දක්වා වූ කාලසීමාව තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම කණගාටුදායක වනඅලි මරණ සංඛ්‍යාව වාර්තා වී තිබේ.වන රක්ෂිත ආක්‍රමණය කරමින් සිදුකරන අනවසර වගාකිරීම් ආරක්ෂා කරගැනීම සඳහා විවිධ පුද්ගලයන් විසින් සිදුකළ වෙඩි තැබීම් හේතුවෙන් වනඅලි 20 දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇත. මීට අමතරව එම වගා බිම් වටා නීති විරෝධී ලෙස ඇද තිබූ විදුලි වැටවල් සහ රැහැන්වල විදුලිසැර වැදීමෙන් වනඅලි මරණ 15ක් ද, කෲර අන්දමින් සකස් කළ හක්කපටස් ආහාරයට ගැනීම නිසා සිදු වූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් මරණ 10ක් ද වාර්තා වේ. එමෙන්ම වගා කටයුතු වෙනුවෙන් කපන ලද අනාරක්ෂිත වගා ළිංවලට වැටීමෙන් තවත් වනඅලි 05 දෙනෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කරයි.














