ශ්‍රී ලංකාවේ පවතින මැතිවරණ නීති සමාලෝචනය කිරීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පුරවැසියන්ගෙන් සහ අදාළ පාර්ශ්වයන්ගෙන් යෝජනා සහ අදහස් කැඳවීමට පියවර ගෙන තිබේ. පළාත් සභා මැතිවරණයට අදාළ කරුණු හැර අනෙකුත් සියලුම මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා මෙම අවස්ථාව හිමිවන අතර ඊට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා 2026 ජූලි 15 වැනිදා දක්වා කාලය ලබා දී ඇත.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කාරක සභාවේ වගකීම වන්නේ ඡන්ද හිමි නාමලේඛන පනත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ ජනාධිපතිවරණ පනත ඇතුළු මැතිවරණ පනත් සමාලෝචනය කර අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමයි. දසවන පාර්ලිමේන්තුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මැතිවරණ රාමුව නවීකරණය කිරීම සහ විධිමත් කිරීම මෙම මුලපිරීමේ ප්‍රධාන අරමුණ වේ.
මෙම කටයුතු සම්බන්ධයෙන් තමන් සතු යෝජනා ලේකම්, මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලිඛිතව යොමු කළ හැකිය. මීට අමතරව එම යෝජනා [email protected] යන විද්‍යුත් තැපෑල ඔස්සේ ද යොමු කිරීමට අවස්ථාව පවතී.
















