27 April 2024
#දේශීය

මැතිවරණ වියදම් පනත වහා සම්මත කර ගන්න – NCEMS

සියලු දේශපාලන පක්ෂ වහාම ක්‍රියාත්මක වී මැතිවරණ වියදම් පනත මෙම පළාත් පාලන මැතිවරණයට ද අදාළ වන සේ සම්මත කර ගන්නා ලෙස ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සහතික කිරීම සඳහා දැනටමත් ඉදිරිපත් කර ඇති මැතිවරණ වියදම් පනත බොහෝ සේ ඉවහල් වන විශ්වාස කරන බවයි.

එසේම ශ්‍රී ලංකාව වැනි රටක මෙවැනි පනතක් සම්මත කර ගැනීමට හැකි වන්නේ නම් එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ ඉඩ ප්‍රස්ථා පුළුල් කරන බව ද ධනයට හෝ බලපෑම් වලට යටත් නොවී මැතිවරණ පැවැත්වීම සඳහා අවස්ථාව සැලසෙන බව ද පනත අධ්‍යයනය කරන විට පැහැදිලි වනු ඇත.

ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය මෙම පනත ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ගනු ලබන උත්සාහයන්හි අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලෙස සලකන අතර මෙය පවතින දූෂිත මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ගත හැකි හොඳම පියවරක් බව ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය ලිපියෙහි සඳහන් කර ඇත.

කෙසේ වුවද එම පනත සම්මත කර ගැනීම වැළැක්වීම සඳහා ඇතැම් දේශපාලන පක්ෂ විසින් ගෙන යන උත්සාහයන් තරයේ හෙලා දකින අතර සාධාරණ මැතිවරණයක් සඳහා නිරන්තරයෙන්ම පෙනී සිටින බව ප්‍රකාශ කරන එම පක්ෂ මෙම පනත සම්මත කර ගැනීමට විරුද්ධ වන්නේ කවර හේතූන් නිසාද යන්න අපැහැදිලි වේ.

සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාව තුළ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මෙම පක්ෂ පෙනී සිටින්නේ නම් කළ යුතුව ඇත්තේ මෙම පළාත් පාලන මැතිවරණයට අදාළ වන සේ එය සම්මත කර ගැනීමයි. එසේ අදාළ කර ගැනීමේ දී මැතිවරණ කල් දැමීමක් කිසිසේත්ම අවශ්‍ය නොවේ. මැතිවරණ වියදම් පනත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පවා අනුමත කර තිබිය දී එයින් නිසි ප්‍රයෝජන ගැනීමට විපක්ෂ දේශපාලන පක්ෂ ඉදිරිපත් නොවීම අතිශය කණගාටුවට කරුණකි. පිරිසිදු මැතිවරණ පැවැත්වීම අරමුණු කරගත් මැතිවරණ වියදම් පනත මෙම මැතිවරණයට අදාළ නොවිය යුතු බව විපක්ෂය විසින් ප්‍රකාශ කරන නමුදු එය ඉදිරි මැතිවරණ සඳහා බලපැවැත්විය යුතුයැයි විපක්ෂය විසින් කරන ඉල්ලීම දෙබිඩි ප්‍රතිපත්තියක් සේ සලකා අප බැහැර කරමු.

එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ වහාම ක්‍රියාත්මක වී මැතිවරණ වියදම් පනත මෙම පළාත් පාලන මැතිවරණයට ද අදාළ වන සේ සම්මත කර ගන්නා ලෙස අප ඉල්ලා සිටින අතර එසේ නොවන්නේ නම් මෙය පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකට ඉදිරිපත් කර වහාම සම්මත කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය වැඩිදුරටත් මාධ්‍ය වෙත නිකුත් කල ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *