බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය සඳහා දිගුකාලීන විසඳුමක් ලෙස, රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් බන්ධනාගාරගත කරනවා වෙනුවට ඇප ලබා දී නිවාස අඩස්සියේ තබා අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගනිමින් සිටින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
බන්ධනාගාර පද්ධතියේ පවතින අධික තදබදය වසර පහළොවක හෝ විස්සක පමණ කාලයක සිට පවතින ගැටලුවක් වන අතර, දැනට පවතින බන්ධනාගාර ඉඩකඩ වැඩි කිරීමට සහ වැලිකඩ බන්ධනාගාරය හොරණ මිල්ලෑව ප්‍රදේශයට ගෙන යාමේ වැඩපිළිවෙළක් දැනටමත් ක්‍රියාත්මක කර ඇත. මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 24,000ක් පමණ මේ වන විට බන්ධනාගාරගතව සිටින අතර, ඔවුන්ට ඇප ලබාදීමට බාධාවක්ව පවතින ප්‍රධානතම හේතුව රස පරීක්ෂක වාර්තා ලබාදීමේ පවතින ප්‍රමාදයයි. මෙම ප්‍රමාදයට විසඳුමක් ලෙස රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය නව බඳවා ගැනීම් සිදු කරමින් පවතින අතර, වසරක් පුරා ප්‍රමාද වන වාර්තා මාස තුනක් තුළ ලබාදීමේ නව වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කර තිබේ. අපරාධකරුවන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ සහ අපරාධ නඩු ඇසීම කඩිනම් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කෙරෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















