අගුණකොළපැලැස්ස, බූස්ස සහ වැලිකඩ යන බන්ධනාගාරවලදී රැඳවියන් තිදෙනෙකු මියයාමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ විමර්ශන ආරම්භ කර තිබේ. අදාළ බන්ධනාගාර පිහිටි පොලිස් වසම්වල පොලිස් ස්ථාන මඟින් මෙම පරීක්ෂණ සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය තහවුරු කරයි.
මෑතකදී මීගමුව බන්ධනාගාරයේ සිට අගුණකොළපැලැස්ස සහ බූස්ස බන්ධනාගාර වෙත මාරු කර යවා සිටි රැඳවියන් දෙදෙනෙකු මෙසේ හදිසි අසනීප තත්ත්වයන් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත. මීට අමතරව, වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි තවත් රැඳවියෙකු සියදිවි හානිකරගෙන ඇති බවට වාර්තා වේ.
මෙම මරණ සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් විසින් අදාළ පොලිස් ස්ථාන වෙත දැනුම් දීමෙන් පසු, සිදුවීම් පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කෙරෙමින් පවතී.
















