මෙම වසරේ අප්‍රේල් මාසයේ සිට ජූනි මාසය දක්වා කාලය සඳහා විදුලි ගාස්තු 13.56%කින් ඉහළ නැංවීමට අදාළව ඉදිරිපත් වූ යෝජනාව පිළිබඳ අවසන් තීරණය මේ මාසය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගිතා කොමිසම (PUCSL) දැනුම් දෙයි. විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලිය අද (18) දිනයේදී අවසන් වූ අතර, බස්නාහිර පළාතට අදාළ මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී සිදු කෙරිණි.
පෙර පැවති ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම ගාස්තු වැඩිකිරීමේ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ පිරිවැය පියවා ගැනීමේ අරමුණින් වුවද, අද පැවති සාකච්ඡාවලදී විපක්ෂ නායකවරයා ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ මහජනතාව එයට දැඩි විරෝධය පළ කළහ. විශේෂයෙන්ම ගල්අඟුරු වංචාවන් නිසා සිදුවූ අමතර පිරිවැය ජනතාව මත පැටවීමට ඉඩ නොදෙන ලෙස ඔවුහු කොමිසමෙන් ඉල්ලා සිටියහ.
මහජන උපයෝගිතා කොමිසම දැන් මෙම සියලු අදහස් සහ යෝජනා සැලකිල්ලට ගනිමින් ඉදිරි සති දෙක තුළ සිය අවසන් තීරණය ප්‍රකාශයට පත් කරනු ඇත. මෙම තීරණය අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බලශක්ති මිල සූත්‍රයට සෘජුවම බලපානු ඇත.














