මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) කොන්ත්‍රාත්කරුවන් වෙත අනුපිටපත් ගෙවීම් (Duplicate Payments) සිදුව ඇති බව රජය ඊයේ (28) පිළිගත්තේය. අදාළ ගෙවීම් සිදුකළ ලංකා බැංකුව (BOC), එම මුදල් නැවත අයකර ගැනීම සඳහා දැනට පවතින ක්‍රමවේදයන්ට අනුව පියවර ගනිමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. මෙම අනුපිටපත් ගෙවීම් හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ ගිණුම්වලට හෝ පුද්ගලික ගිණුම්වලට බලපෑමක් සිදු නොවන බවත්, අභ්‍යන්තර ගෙවීම් ලිපිගොනු (Internal Payment File) හරහා අරමුදල් සම්ප්‍රේෂණය කිරීමේදී සිදු වූ දෝෂයක් මීට හේතු වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත්, මෙවැනි “ද්විත්ව ගෙවීමක්” සිදුව නැති බවත් තම ගිණුම් වාර්තා අනුව එවැනි ගනුදෙනු තහවුරු නොවන බවත් මාර්ග සංවර්ධන අධිකාරිය මීට පෙර පවසා තිබුණි. මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ‘X’ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, පද්ධති දෝෂයක් (System Error) හේතුවෙන් රුපියල් මිලියන 263 ක මුදලක් කොන්ත්‍රාත්කරුවන් වෙත වැරදීමකින් ප්‍රේෂණය වී ඇති බව ලංකා බැංකුව නිකුත් කළ ‘අරමුදල් නැවත කැඳවීමේ’ (Recall of Funds) නිවේදනයක් මගින් තහවුරු වන බවයි. ලංකා බැංකුවේ ප්‍රකාශයක් උපුටා දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඉන් රුපියල් මිලියන 51 කට අධික මුදලක් තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි.












