27 April 2024
#දේශීය

ලැක්ටෝජන් බබාගේ දෙවන විකට නාට්‍ය මහනුවරදිලු – ඇමැති සජිත් කියයි

පොහොට්ටුව නිර්මාණය කළ ප්‍රථම විකට නාට්‍ය පසුගිය 5 වැනිදා කොළඹ දී රඟදැක්වූ නමුත් එය මුළු රටම බලා සිටියදීම එය අසාර්ථක වූ බවත්, අසාර්ථක වූ එම පළමු විකට නාට්‍යයෙන් පසුව දෙවන විකට නාට්‍ය ඉදිරියේදී මහනුවර නගරයේදී රඟදක්වන බව ලැක්ටෝජන් බබා ප්‍රකාශ කර ඇති බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පසුගිය 5 වැනිදා කොළඹදී විකට නාට්‍ය රඟදක්වන්නට පෙර ලැක්ටෝජන් බබා විසින් වත්මන් ජනපති හා අගමැති එලවා දමා අපේ මිනිසා රජ පුටුවට ගෙනඑන බව ප්‍රකාශ කළද, 6 වැනිදා උදෑසන මෙය පොහොට්ටුවේ පළමු වෙඩිමුරය යැයි පැවසීම වැහිළුවක් බව කී අමාත්‍යවරයා, විකට නාට්‍යයට පැමිණි පිරිසට බාල කිරිපැකට් බෙදා දී යහපාලන රජය ක්‍රමන්ත්‍රණයක් සිදු කළ බවට ලැක්ටෝජන් බබාලා අද රජයට විරුද්ධව සිදුකරන චෝදනාද තවත් විහිළුවක් බවත් සඳහන් කළේය.

කොළඹදී විකට නාට්‍ය රඟදැක්වූ පසුගිය 5 වැනිදා තමන් මෙරට දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් උදා ගම්මාන 138 ක ඉදිකිරීම් ආරම්භ කළ බවත්, පොහොට්ටුවේ දෙවන විකට නාට්‍ය නුවරදී රඟදැක්වුවහොත්, තමන් එදින නව උදාගම්මාන 200 ක වැඩ ආරම්භ කරන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ, යටිනුවර, කිරිමැටියවත්ත ඉදිවූ “ශ්‍රීමත් ගාමිණී දිසානායක පුර” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (08) දින සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 118 වන ආදර්ශ ගම්මානය මෙයයි.

නිවාස 19 කින් සමන්විත මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 251 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

“ශ්‍රීමත් ගාමිණී දිසානායක පුර” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 19 දෙනාට නිවාස හිමිකම් පත්‍ර හා රුපියල් ලක්ෂ 285 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 19 ක හිමිකම ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 210 කට රුපියල් ලක්ෂ 210 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, ප්‍රතිලාභීන් 119 කට රුපියල් ලක්ෂ 238 ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, ප්‍රතිලාභීන් 40 කට රුපියල් ලක්ෂ 20 ක් වටිනා නිවාස ණය සහ ආධාර, ස්වයං රැකියා ණය සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 63 දෙනෙකුට ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

මෙම අවස්ථාවට නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක, වේළු කුමාර්, ආනන්ද අලුත්ගමගේ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
“ශ්‍රීමත් ගාමිණී දිසානායක පුර” උදා ගම්මානය තම පියා නමින් ඉදිකිරීම පිලිබඳව දිවංගත ගාමිණී දිසානායක මැතිතුමාගේ පුත් මයන්ත දිසානායක මහතා විසින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට මෙහිදී සමරු තිළිණයක්ද ප්‍රදාණය කෙරිණ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *