වර්තමාන රජයේ සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ පුරවැසියා දිගින් දිගටම සහනාධාර ලාභියෙකු ලෙස තබා ගැනීම නොව, ඔවුන් සහනාධාර මානසිකත්වයෙන් මුදවාගෙන ඵලදායී ආර්ථික ක්‍රියාවලියක නිරත කරවීම බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා පවසයි. අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
මෙම වසරේ පවුල් ලක්ෂ 02ක් තෝරා ගනිමින් ඔවුන් අස්වැසුම සහනාධාරයෙන් මුදවාගෙන ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම අපේක්ෂිතයි. සෑම වසරකම පවුල් ලක්ෂ 02ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මෙම ක්‍රියාවලියට යොමු කිරීමට සැලසුම් කර ඇත. සවිබල ගැන්වීම සඳහා වයස අවුරුදු 60ට අඩු, ආබාධිත නොවන සහ නිධන්ගත රෝගවලින් නොපෙළෙන ගෘහමූලිකයන් සිටින පවුල් තෝරා ගනු ලැබේ. රට තුළ අස්වැසුම ලබන පවුල් ලක්ෂ 16ක් සිටින අතර, ඉන් පවුල් ලක්ෂ 12ක් සවිබල ගැන්වීම සඳහා සුදුසු බව හඳුනාගෙන තිබේ. මෙම පවුල් වසර 05ක් තුළ ස්වයංව නැගී සිටින තත්ත්වයට පත් කිරීම ඉලක්කයයි. ප්‍රජා සවියට නව බලයක් ලබාදීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය ජූලි 10 වනදා අරලියගහ මන්දිරයේදී අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
















