මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වයන්ට අදාළ දර්ශන සමාජ මාධ්‍ය හරහා හුවමාරු කිරීම සහ එම අන්තර්ගතයන්ට ප්‍රතිචාර දැක්වීම යන චෝදනා මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් හත් දෙනෙකු යළි දිවයිනට පිටුවහල් කර තිබේ. මෙම පිරිස පසුගිය රාත්‍රියේ (මැයි 27) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි අතර ඔවුන්ව අබුඩාබි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කරනු ලැබීය.
අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 23ත් 33ත් අතර වයසේ පසුවන්නන් වන අතර, ඔවුන් අම්බලන්ගොඩ, මාරපන, බොරැල්ල, බණ්ඩාරගම, පොළොන්නරුව සහ වත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. අබුඩාබි ආරක්ෂක අංශ විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර වැනි යුදමය තත්ත්වයන් නිරූපණය වන වීඩියෝ සහ ඡායාරූප තබා ගැනීම, ඒවා සමාජ මාධ්‍යවල පළ කිරීම මෙන්ම එවැනි අන්තර්ගතයන්ට ‘like’ කිරීම සහ ‘comment’ කිරීම වැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙනි.
ගුවන්තොටුපළ වෙත පැමිණි මොවුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), රාජ්‍ය බුද්ධි සේවය (SIS) සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) එක්ව දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමට ලක් කර ඇත.
















