කෙන්යාවේ ගිල්ගිල් ප්‍රදේශයේ නේවාසික පාසලක අද (28) අලුයම හටගත් දරුණු ගින්නකින් සිසුන් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ගින්න හටගන්නා අවස්ථාවේ සිසුන් නින්දේ පසුවීම සහ ගොඩනැඟිල්ල තුළ පැවති අධික තදබදය මෙම ඛේදවාචකයට ප්‍රධාන හේතුව වී ඇති බව වාර්තා වේ.
තවත් සිසුන් 74දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර, ගින්නෙන් බේරීමට උත්සාහ කිරීමේදී නේවාසිකාගාරයේ ඉහළ මහලෙන් බිමට පැනීම නිසා ඇතැම් සිසුන් බරපතළ තුවාල ලබා ඇත. අලුයම 01:00ට පමණ හටගත් මෙම ගින්න සිසුන් 220ක් පමණ සිටි ගොඩනැඟිල්ල වෙත වේගයෙන් පැතිර ගොස් ඇති අතර, තත්ත්වය පාලනය කිරීමත් සමඟ සමහර සිසුන් භීතියට පත්ව අවට ප්‍රදේශවලට පලාගොස් ඇති බවද වාර්තා වේ.
ගින්නට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අතුරුදහන් වූවන් සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී. කෙන්යාවේ නේවාසික පාසල්වල ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳ ගැටලු හේතුවෙන් මෑත කාලයේ මෙවැනි මාරාන්තික සිදුවීම් කිහිපයක්ම වාර්තා වී තිබුණි.
















