ශ්‍රී ලංකාවේ බැංකු අංශය මූලික වශයෙන් ඉතා ශක්තිමත්, ආරක්ෂිත සහ ස්ථාවර මට්ටමක පවතින බවත්, මෑතකදී වාර්තා වූ හුදෙකලා මූල්‍ය වංචා හේතුවෙන් පාරිභෝගික තැන්පතුවලට හෝ සමස්ත මූල්‍ය පද්ධතියේ පැවැත්මට කිසිදු තර්ජනයක් නොමැති බවත් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) සාමූහික සහතිකයක් ලබා දෙමින් ප්‍රකාශ කරයි. සමාජ මාධ්‍ය තුළ පළවන ඇතැම් නොමඟ යවන සුළු සහ සාවද්‍ය තොරතුරුවලට ප්‍රතිචාර දක්වමින් බැංකු සංගමයේ සභාපති සනත් මනතුංග මහතා අවධාරණය කළේ, ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු හෝ තතුබෑම් (phishing) වැනි වංචා නිසා සිදු වූ පාඩු, බැංකු සතු සැලකිය යුතු ආයතනික ස්වාරක්ෂක ප්‍රාග්ධනයට සාපේක්ෂව ඉතා සුළු ප්‍රමාණයක් වන බවයි. මහජන තැන්පතුවලින් තොරව, ආයතනික ස්වාරක්ෂක ප්‍රාග්ධනය පමණක් යොදාගෙන එවැනි පාඩු පියවා ගැනීමට බැංකු සතු ශක්තිය හේතුවෙන් ගනුදෙනුකරුවන්ගේ අරමුදල් සම්පූර්ණයෙන්ම සුරක්ෂිතව පවතින බව ද හෙතෙම කියා සිටියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව ද තහවුරු කර ඇති පරිදි, මෙරට සියලුම බලපත්‍රලාභී බැංකු නියමිත අවම නියාමන අවශ්‍යතාවලටත් වඩා ඉහළින් ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය සහ ද්‍රවශීලතා අනුපාත පවත්වාගෙන යනු ලබයි. අවශ්‍යතාවක් වුවහොත් තාවකාලික ද්‍රවශීලතා සහය ලබාදීමට ද නියාමකයා සූදානමින් සිටී. මනතුංග මහතා පෙන්වා දුන්නේ රුපියල් ට්‍රිලියන ගණනක වත්කම්, විවිධාංගීකරණය වූ ආයෝජන කළඹවල් සහ ශක්තිමත් පාලන රාමු මඟින් බැංකු ක්ෂේත්‍රය මෙහෙයවෙන බැවින්, බාහිර පරිසරයෙන් පැමිණෙන ඕනෑම කම්පනයක් අවශෝෂණය කරගැනීමට බැංකු සන්නද්ධ බවයි.
මෙම නැඟී එන තර්ජනවලට එරෙහිව බැංකු අංශය විසින් දියුණු තාක්ෂණයෙන් යුත් වංචා අවදානම් කළමනාකරණ පද්ධති (Fraud Risk Management Systems), දැඩි අධීක්ෂණ නීති සහ ස්වාධීන මූල්‍ය විගණන වැනි ක්‍රමවේද හරහා අන්තර්ජාල ආරක්ෂණ රාමු අඛණ්ඩව ශක්තිමත් කරමින් සිටී. මේ අතරතුර, පාරිභෝගිකයින් ද තමන්ගේ ඩිජිටල් භාවිතයන් (මුරපද, QR කේත සහ ඩිජිටල් ගෙවීම් මෙවලම්) පිළිබඳව සුපරීක්ෂාකාරීව සිටිය යුතු බව ද බැංකු සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටී.
















