නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන මධ්‍යම ආසියානු (CAVA) කාන්තා වොලිබෝල් ශූරතාවලියේ 6 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. තරගාවලියේ 5 වැනි ස්ථානය තේරීම වෙනුවෙන් කිර්ගිස්ථානය සමඟ පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වට 3-1ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් මෙම ස්ථානය හිමි විය. තරගයේ පළමු වටය ලකුණු 25-15ක් ලෙස ශ්‍රී ලංකාව සාර්ථකව ජයග්‍රහණය කළ ද, ඉතිරි වට තුන පිළිවෙළින් ලකුණු 25-23, 25-23 සහ 25-15ක් ලෙස ජයගනිමින් තරගයේ ජය මෙන්ම 5 වැනි ස්ථානය දිනා ගැනීමට කිර්ගිස්ථාන ක්‍රීඩිකාවන් සමත් විය.
කණ්ඩායම් 8ක් සහභාගි වූ මෙම තරගාවලියේ මාලදිවයින 7 වැනි ස්ථානයටත්, බංග්ලාදේශය 8 වැනි ස්ථානයටත් පත්ව ඇත. තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගවලදී ඉන්දියාව සහ කසකස්ථානය අතරත්, ඉරානය සහ නේපාලය අතරත් තරග පැවැත්වීමට නියමිතය. මෙම මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලිය මැයි 29 වැනිදා නිමාවට පත්වීමට නියමිත අතර, එදින රන් සහ ලෝකඩ පදක්කම් සඳහා වූ තීරණාත්මක තරග පැවැත්වේ.
















