ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඇගයීම සඳහා අතිවිශාල මූල්‍ය ප්‍රතිලාභ සහිත නව ගෙවීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. මෙහි ඇති සුවිශේෂීම අංගය වන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින කණ්ඩායම් පරාජය කිරීම සඳහා ක්‍රීඩකයන්ට අතිවිශාල බෝනස් දීමනා පිරිනැමීමට සැලසුම් කර තිබීමයි. යෝජිත ක්‍රමවේදයට අනුව අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයේ පසුවන කණ්ඩායමක් ටෙස්ට් හෝ එක්දින තරගයකදී විදේශයකදී පරාජය කළහොත් කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 150,000ක බෝනස් මුදලක් හිමිවේ. ශ්‍රේණිගත කිරීම්වල දෙවන, තෙවන සහ සිව්වන ස්ථානවල පසුවන කණ්ඩායම් පරාජය කිරීම සඳහා ද පිළිවෙලින් ඩොලර් 100,000, 75,000 සහ 60,000 බැගින් ක්‍රමයෙන් අඩුවන ලෙස දීමනා පිරිනැමීමට යෝජනා කර ඇත. විස්සයි20 ආකෘතියේදී ලොව අංක එකේ කණ්ඩායම පරාජය කළහොත් ඕනෑම ස්ථානයකදී ඩොලර් 75,000ක මුදලක් හිමිවනු ඇත.
එක් එක් තරග ආකෘතිය අනුව ක්‍රීඩකයන්ට ලැබෙන සාමාන්‍ය ගෙවීම් ද ඉහළ නංවා ඇති අතර ටෙස්ට් තරග ජයග්‍රහණයකට ඩොලර් 15,000ක් ද, එක්දින ජයග්‍රහණයකට ඩොලර් 7,500ක් ද සහ විස්සයි20 ජයග්‍රහණයකට ඩොලර් 5,000ක් ද වශයෙන් ගෙවීම් සිදු කෙරේ. තරග පරාජය වූ අවස්ථාවලදී ද නිශ්චිත ගෙවීම් ව්‍යුහයක් සකස් කර ඇති අතර විසඳුමක් රහිතව අවසන් වන තරග සඳහා ද දීමනා වෙන් කර ඇත. නායකත්ව වගකීම අගය කරමින් සෑම ටෙස්ට් සහ එක්දින තරගයකටම අමතරව ඩොලර් 1,000ක දීමනාවක් නායකයාට හිමිවන අතර විස්සයි20 තරගයක් සඳහා එම මුදල ඩොලර් 500කි. කෙසේ වෙතත් මෙම අතිරේක දීමනාව හිමිවන්නේ අදාළ නායකයා සමස්ත තරගය පුරා රැඳී සිටියහොත් පමණි.
පෞද්ගලික දක්ෂතා මත පදනම්ව ද ක්‍රීඩකයන්ට දිරිගැන්වීම් ලබාදීමට කටයුතු යොදා ඇති අතර ඕනෑම ආකෘතියක ලොව අංක 1 ක්‍රීඩකයා වුවහොත් ඩොලර් 25,000ක විශේෂ මුදලක් පිරිනැමේ. ලෝක ශ්‍රේණිගත කිරීම්වල 2 සිට 5 දක්වා ස්ථානයක පසු වුවහොත් ඩොලර් 20,000ක දීමනාවක් එක් වරක් පමණක් හිමිවේ. මීට අමතරව වාර්ෂික කොන්ත්‍රාත් රඳවා ගැනීමේ ගාස්තු, සංචාරක ගාස්තු සහ දෛනික දීමනා ද පෙර පරිදිම ක්‍රියාත්මක වනු ඇත. මෙම නව ගෙවීම් ක්‍රමවේදය මගින් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉහළ නැංවීමට අපේක්ෂා කළ ද ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය ප්‍රකාශ කරන්නේ මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.














