සමීක්ෂණ වාර්තාවලට අනුව මේ දිනවල නිවෙස් ඇතුළතින් ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ ලේකම් බුවනෙක ලහිරු හේවාගමගේ මහතා පවසයි. ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදුකළ විශේෂ කීට විද්‍යා සමීක්ෂණයකින් මෙම කරුණු අනාවරණය වී ඇත.
බොහෝ දෙනා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේදී එළිමහන් පරිසරයට වැඩි අවධානයක් යොමු කළත්, නිවෙස් තුළ ඇති ශීතකරණවල ජලය එක්රැස් වන ස්ථාන, බකට්, සහ ජලය රැස්ව ඇති විසිතුරු මල් බඳුන් වැනි ස්ථානවල ඩෙංගු මදුරු කීටයන් බහුලව වාර්තා වන බව ඒ මහතා පෙන්වා දෙයි.
කීට විද්‍යා සමීක්ෂණයට අනුව සාමාන්‍යයෙන් පැවතිය යුතු බිටෝ දර්ශකයේ (Breteau Index) අගය 5ක් වුවද, දැනට වාර්තා වන අගය 15ත් 20ත් අතර ඉහළ මට්ටමක පවතී. ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල මදුරුවන් බෝවීමේ අඩු වීමක් දක්නට නොලැබෙන අතර, කොළඹ දිස්ත්‍රික්කයේ සුළු අඩු වීමක් පෙන්නුම් කරයි. ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට අනුව, මෙම වසරේ මේ දක්වා ඩෙංගු ආසාදිතයන් 69,951ක් සහ මරණ 48ක් වාර්තා වී ඇත. මේ මස ගත වූ දින 13 තුළදී පමණක් ඩෙංගු රෝගීන් 14,572ක් වාර්තා වී තිබේ.
නිවෙස් තුළ ඇති ජලය රැස්වන ස්ථාන පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින්, නිරතුරුවම ඒවා පිරිසිදු කර මදුරුවන් බෝවීම වැළැක්වීමට කටයුතු කරන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
















