ශ්‍රී ලංකාවේ අනන්‍යතාව කදිමට විදහා දක්වන පැරණි සම්ප්‍රදායික කිතුල් මැදීමේ කර්මාන්තය යුනෙස්කෝ සංවිධානය මඟින් අස්පර්ශනීය සංස්කෘතික උරුම (Intangible Cultural Heritage) ලැයිස්තුවට නිල වශයෙන් ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ කිතුල් මැදීම සඳහා වූ පැරණි දේශීය තාක්ෂණය නමින් යුනෙස්කෝ සංවිධානය විසින් නම් කර ඇති මෙම උරුමය, කිතුල් ගසෙන් තෙලිජ්ජ ලබා ගැනීම ඇතුළු සුවිශේෂී පාරම්පරික ක්‍රියාවලීන්ගෙන් සමන්විත වේ. මල් සකස් කිරීම, විශේෂිත සාම්ප්‍රදායික පිහියක් භාවිතයෙන් මල කැපීම, තෙලිජ්ජ එකතු කර රන්වන් පැහැති කිතුල් පැණි, හකුරු සහ විනාකිරි නිෂ්පාදනය කිරීම මෙන්ම සොබාදහම සමඟ බැඳුණු ආධ්‍යාත්මික සබඳතා සහ වත්පිළිවෙත් මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට ගෙන ඇත.
අතීතයේ ඇතැම් සමාජ කණ්ඩායම්වලට සීමා වී තිබූ මෙම කර්මාන්තය වර්තමානය වන විට කුල හෝ ජාති භේදයකින් තොරව පොදු දේශීය සංස්කෘතික අනන්‍යතාවක් ලෙස ව්‍යාප්ත වී තිබීම තවත් විශේෂත්වයකි. සාම්ප්‍රදායිකව පිරිමින් තෙලිජ්ජ බෑම සිදු කරන අතර, කාන්තාවන් එය සැකසීමේ කටයුතුවල නිරත වෙමින් මුළු පවුලම මෙම ආර්ථික හා සංස්කෘතික ක්‍රියාවලියට දායක වේ. කෙසේ වෙතත්, නවීකරණය, වන විනාශය සහ නූතන පරපුර මෙම කර්මාන්තයට යොමු වීමට ඇති අකමැත්ත හේතුවෙන් මීට පෙර මෙම තාක්ෂණය පරිහානියට පත්වීමේ අවදානමකට මුහුණ දී තිබිණි.
මෙම පාරම්පරික කර්මාන්තය අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් ග්‍රාමීය ශ්‍රී ලංකීය ජීවන රටාවට සහ දේශීය දැනුම් පද්ධතියට මෙමඟින් ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි වී තිබේ. මීට අමතරව, ශ්‍රී ලංකාවේ කිතුල් කර්මාන්තය මෙන්ම හින්දු ජනයාගේ ප්‍රධානතම සංස්කෘතික උත්සවයක් වන දීපාවලිය ද යුනෙස්කෝවේ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.













