පසුගිය 2023, 2024 සහ 2025 වර්ෂවල අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටිමින් රජයේ විශ්වවිද්‍යාල සඳහා ප්‍රවේශය නොලැබුණු සිසුන් වෙනුවෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියක් හැදෑරීම සඳහා පොලී රහිත ශිෂ්‍ය ණය පහසුකම් ලබා දීමේ දැනුවත් කිරීමේ වැඩසටහනක් මෑතකදී බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය.
රජයේ විශ්වවිද්‍යාල සඳහා වාර්ෂිකව සිසුන් 47,000කට ආසන්න පිරිසක් සුදුසුකම් ලැබුවද, ඉන් මඟහැරෙන දරුවන් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද පෞද්ගලික විශ්වවිද්‍යාල 17ක් සඳහා උපරිමය රුපියල් ලක්ෂ 15ක් දක්වා මෙම ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ හිමි වේ. උසස් පෙළ විභාගයෙන් අවම වශයෙන් විෂයන් 3ක් සමත්ව පොදු පරීක්ෂණ විෂය සඳහා ලකුණු 30ක් ලබා තිබීම මූලික සුදුසුකම වන අතර, සිසුන්ට වසර 4ක කාලයක් තුළ උපාධිය සම්පූර්ණ කළ හැකිය.
මෙම ණය මුදල ආපසු ගෙවීම සඳහා සහනදායී ක්‍රමවේදයක් සකසා තිබෙන අතර, උපාධිය හැදෑරීමෙන් පසු රැකියාගත වීමෙන් අනතුරුව සමාන වාරික 84කින් සහ උපාධිය ආරම්භ කළ දින සිට වසර 12ක් ඇතුළත සම්පූර්ණයෙන්ම පොළී රහිතව එය ගෙවා අවසන් කිරීමේ හැකියාව පවතී. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අන්තර්ජාලය (ONLINE) ඔස්සේ මේ සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට අවස්ථාව සලසා දී ඇත.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කළ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා අමාත්‍යාංශ නිලධාරීන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිපුණතා සංවර්ධන නිලධාරීන් මෙන්ම ප්‍රමුඛ පෙළේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල නියෝජිතයින්, දෙමාපියන් සහ සිසුහු විශාල පිරිසක් එක්ව සිටියහ.














