ආසියා–පැසිෆික් කලාපයේ පොදු පාරිසරික ප්‍රමුඛතා ඉදිරියට ගෙනයාමට සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා – මොංගෝලියා පරිසර අමාත්‍යවරුන් අතර සාකච්ඡා කෙරේ
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ මොංගෝලියාවේ පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ අමාත්‍ය සැන්ඩාග්-ඔචිර් සෙන්ඩ් (Sandag-Ochir Tsend) මහතා අතර UNCCD COP17 සමුළුවට සමගාමීව විශේෂ හමුවක් පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවේදී UNCCD COP17 සමුළුව සාර්ථකව පැවැත්වීම සඳහා මොංගෝලියා රජය ලබාදෙන නායකත්වය අගය කළ ශ්‍රී ලංකාව, එහි සාර්ථක ප්‍රතිඵල සඳහා තම පූර්ණ සහයෝගය පළ කළේය. භූමි හායනය, නියඟය, ජල හිඟය සහ පරිසර පද්ධති අවදානම් වැනි දෙරටටම පොදු පාරිසරික අභියෝගවලට මුහුණ දීම සඳහා භූමි ප්‍රතිථාපනය, තිරසර භූමි හා ජල කළමනාකරණය, වන සම්පත් සහ වනජීවී සංරක්ෂණය මෙන්ම 2030 වන විට LDN ඉලක්කය ළඟා කර ගැනීම සම්බන්ධයෙන් දැනුම, තාක්ෂණය හා අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැදගත්කම දෙපාර්ශ්වය විසින් අවධාරණය කරන ලදී.
එමෙන්ම, දේශගුණික මූල්‍ය, තාක්ෂණික සහයෝගීතාව හා ධාරිතා සංවර්ධනය ශක්තිමත් කිරීමත්, UNEA-8 ඇතුළු ජාත්‍යන්තර හා කලාපීය පාරිසරික ක්‍රියාවලීන්හිදී දෙරටේ සහයෝගීතාව වැඩිදියුණු කිරීමත් මෙහිදී සාකච්ඡාවට ලක් විය. ශ්‍රී ලංකාව සහ මොංගෝලියාව අතර ඇති කරගත් මෙම සහයෝගීතාව ආසියා–පැසිෆික් කලාපයේ පොදු පාරිසරික ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාමට සහ සංවර්ධනය වෙමින් පවතින රටවල හඬ ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















