මැදපෙරදිග කලාපයේ පවතින අමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද ගැටුම් හමුවේ ගුවන් ගමන් අත්හිටුවීම නිසා සිය මව්බිම් කරා යාමට නොහැකිව ශ්‍රී ලංකාව තුළ සිරවී සිටින විදේශීය සංචාරකයන් වෙනුවෙන් රජය සුවිශේෂී මානුෂීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ලෝකයම යුද බියෙන් වෙලී පවතින මෙවන් මොහොතක, අසරණ වූ සංචාරකයන්ගේ සුභසාධනය වෙනුවෙන් ශ්‍රී ලාංකික අනන්‍යතාවය ලොවටම ප්‍රදර්ශනය කරමින් මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව, සංචාරක මණ්ඩලයේ මැදිහත්වීමෙන් පීඩාවට පත් සංචාරකයන් සඳහා නොමිලේ දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් මේ වන විටත් ආරම්භ කර ඇති අතර, ගුවන් ගමන් යථා තත්ත්වයට පත්වන තෙක් දිනපතා පෙරවරු 11:00 සිට පස්වරු 3:00 දක්වා ආහාර ලබා දීමට බලධාරීන් කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය එක්ව මෙම වැඩසටහන මෙහෙයවයි.
ආහාර පානවලට අමතරව, සංචාරකයන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් සලසා දීමට සහ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ද රජය උපරිම මැදිහත්වීම සිදු කරයි. ශ්‍රී ලංකාව අනුගමනය කරන මෙම මානුෂීය වැඩපිළිවෙළ ජාත්‍යන්තර සංචාරකයන්ගේ සහ විදෙස් මාධ්‍යවල දැඩි පැසසුමට ලක්ව ඇති අතර, එය මෙරට සංචාරක කර්මාන්තය කෙරෙහි පවතින විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත.














