27 April 2024
#දේශීය

මාලදිවයිනේ ධිවර කර්මාන්තයේ නව තාක්ෂණ අත්දැකීම් බෙදා ගැනීමට මෙරට සුදානම්

කරදිය ධිවර කර්මාන්තය හා මිරිදිය කර්මාන්තය පිළිබදව මාලදිවයින රජය සමග තාක්ෂණික දැනුම හා අත්දැකීම් බෙදාගැනීමට ලංකාව සුදානම් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) දින ධීවර අමාත්‍යංශයේදි මාලදිවයින තානාපති ඔමර් අබ්දුල් රසාක් මහතා සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදිය.

මාලදිවයින මුහුදු සීමාවට අනවසර ලෙස ඇතුළත් වන ශ්‍රි ලාංකික ධිවරයන් අත්අඩංගුවට ගැනීම හා ඔවුන් පිළිබදව ගතයුතු ක්‍රියාමාර්ග ගැන ද්වීපාර්ශික ගිවිසුමක් සකස් කොට එම ප්‍රශ්නවලට විසදුමක් ලබාගත යුතු බව අමාත්‍යවරයා යෝජනා කළ අතර, එම යෝජනාව මාලදිවයින තානාපතිවරයා විසින් පිළිගත් අතර යෝජනාව සකස් කිරීමට ශ්‍රි ලංකාවේ ධිවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මියට භාරදීමට මෙම සාකච්ඡාවේදී එකගතාවයකට එළබිණි.

එම හමුවේදි මාලදිවයිනේ මුහුදු ආහාර (කරවල,උම්මලකඩ) ආශ්‍රිත නිෂ්පාදන වලට ලංකාවේ හොද ඉල්ලීමක් තිබෙන බවත්, කොවිඩ් නයින්ටීන් උවදුර නිසා පසුගිය වකවානුවේ මාලදිවයිනේ සිට මුහුදු ආහාර ආනයනය කිරිමට තහංචි දැමීම පිළිබදව කනස්සල්ල පලකළ තානාපතිවරයා එම තහංචිය ලිහිල් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදි අමාත්‍යවරයා කියා සිටියේ කොවිඩ් නයින්ටීන් හේතු කොටගෙන එම ආහාර පමණක් නොව ශ්‍රි ලංකාවට වෙනත් රටවලින් ගෙන්වන භාණ්ඩ රැසක් ආනයනය කිරීම නවත්වූ බවත්,ඉතා ඉක්මණින් මේ පිළිබදව සලකාබැලීම ජනාධිපතිවරයා සමග සාකච්ඡාකොට තීරණයක් ගන්නා බවත් ප්‍රකාශ කළේය.

මුහුදු ආහාර කටයුතුවල මාලදිවයිනේ තාක්ෂණික දැනුම, සාගර ආශ්‍රිත ධිවර කටයුතු පිළිබද මාලදිවයිනය සතුව ඇති තාක්ෂණය හා දැනුම සහ ශ්‍රි ලංකාව සතුව ඇති තාක්ෂණික දැනුම හා ධීවරයන් සතු පලපුරුදු, අත්දැකීම් දෙරට අතර ධිවර ජනතාවතුල හුවමාරුකර ගැනීමට අවශ්‍ය වැඩ පිළිවලක් සකස් කළයුතු බව මෙහිදී එකගතාවයකට එළඹිය.

අමාත්‍යවරයා කියා සිටියේ තාක්ෂණය හා දැනුම දෙරට අතර හුවමාරු කිරීමෙන් දෙරටේ පවතින සහයෝගය තව තවත් ශක්තිමත් වන බවත් එම නිසා එම අදහස තමන් ඉතා අගයකරමින් පිළිගන්නා බවයි.

ලාංකික ධිවරයන් මාලදිවයින රජය විසින් අත්අඩංගුවට ගැනීම බහුලව තිබෙන නිසා මේ පිළිබදව දෙරට අතර අවබෝධතා ගිවිසුම කඩිනම් කිරීමෙන් ඉතා ඉක්මණින් මෙයට විසදුම් සෙවිය යුතු බවට අමාත්‍යවරයා පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *