27 April 2024
#දේශීය

සර් කියු දේ චක්‍ර ලේඛයක් බවට රට ගමන් කරන බව ජවිපෙන් චෝදනා

අද රට ගමන් කරමින් තියෙන්නේ සර් කියූ දේ, චක්‍රලේඛයක් බවට පත්වන තත්වයකට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන 20වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජාතික විගණන ක්‍රියාවලියට සිදුකර තිබෙන බලපෑමත් ඒ මගින් රාජ්‍ය මූල්‍ය ක්‍රියාවලියට පාර්ලිමේන්තුව සතු බලය අහිමි වීමත් පිළිබඳව කරුණු පැහැදිළි කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් හදුන්නෙත්ති මහතා මෙසේ අදහස් පල කලේය “ ගැමි වහරේ තියෙනවා, ගඟේ මුහුදේ දැම්මත් ගානක් මිම්මක් තියෙන්න ඕනෑ කියලා. මේකෙන් කියන්නේ මූල්‍ය පාලනය සම්බන්ධවයි. මේ ගැමි වහරේ තිබෙන යෙදුම රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් ඉටු කරන්නේ රාජ්‍ය විගණන ක්‍රියාවලියෙන්. සමාජවාදී වේවා, ධනවාදී වේවා ඕනෑම ආර්ථික ක්‍රමයක් පවත්වාගෙන යන රටක මූල්‍ය පාලනය සම්බන්ධයෙන් සහාය දක්වන්නේ විගණන ක්‍රියාවලියෙන්. 20වැනි සංශෝධනයෙන් කරන්නේ විගණකාධිපතිවරයා පත් කිරීමත් විගණන ක්‍රියාවලියත් සම්පූර්ණයෙන්ම දුර්වල කරලා පාර්ලිමේන්තුව සතුව තිබුණු මූල්‍ය පාලන බලය අහිමි කිරීම. ව්‍යවස්ථාවෙන් කොහොමද මූල්‍ය පාලනය කරන්නේ කියන එක ජනතාවට තේරෙන්නේ නැහැ. 1978 ඉඳලම මූල්‍ය පාලනය සම්බන්ධ බලය පාර්ලිමේන්තුවට තිබුණාද කියන ප්‍රශ්නයත් මතු වෙනවා. නමුත් ගානක් මිම්මක් නැතුවම මූල්‍ය පාලන බලය ගඟේ මුහුදේ දාන්න 20වැනි සංශෝධනය තුළින් උත්සාහ කෙරෙනවා. වාර්ෂික මූල්‍ය ප්‍රකාශනවලින් පෞද්ගලික ආයතනයක ලාභ අලාභ තත්වය පිළිබඳව නිවැරදි තොරතුරු සපයන්නේ විගණනයෙන්. ආයතනයක් ලාභ වුණත් ඊට වඩා ලාභ ලබාගන්න තිබූ අවස්ථාවන් අහිමි වීම වගේ තත්වයන් විගණනයෙන් දකින්න පුළුවන්. රජයටත් එහෙමයි. ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය වගේම නිලධාරීන් සංස්ථා සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය ජනතාවගේ බදු මුදල්වලට සාධාරණය ඉෂ්ඨ කරල දෙන්නේ කොහොමද? මීට වඩා සාධාරණයක් ඉෂ්ඨ කරන්න ඉඩ තිබුණාද කියලා පැහැදිළි කෙරෙන්නේ විගණන වාර්තාවෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148වැනි වගන්තිය යටතේ සමස්ත මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුව සතුයි. ඒ වෙනුවෙන් වාර්තා සපයන්න බලය පවරලා තියෙන්නේ විගණකාධිපතිවරයාට. විගණන නිලධාරීන් හා සුපරීක්‍ෂකවරුන් විසින් කාලයෙන් කාලයට රාජ්‍ය ආයතන පරීක්‍ෂා කරලා කාර්තුමය වාර්තා, අර්ධ වාර්ෂික වාර්තා සහ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අන්න ඒ ගිණුම් වාර්තා මත පදනම්ව සවිස්තර වාර්තාවක් රාජ්‍ය ගිණුම් කාරක සභාවට සහ පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරනවා. මෙම කාරක සභාවල සාමාජිකයින් විගණකාධිපතිවරයා සහ ඔහුගේ නිලධාරීන් කැඳවාගෙන මේ ගිණුම් වාර්තා සම්බන්ධයෙන් ලිහා බැලීමක් සවිස්තරාත්මකව කරනවා. රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීම ඉෂ්ඨ කරන්නේ ඔය විදිහට.
විගණකාධිපතිවරයා පත්කිරීමේ ඉඳලාම ස්වාධීනත්වය අහෝසි කිරීම වගේම විගණනයට තිබෙන රාජ්‍ය ආයතන ඉවත් කිරීමෙන් පාර්ලිමේන්තුවට තිබුණු බලය අහිමි කිරීම 20වැනි සංශෝධනයෙන් සිදු කරනවා. විගණනය කියන්නේ එක් අංශයක් විතරක් නෙවෙයි. සංස්ථාවක, මණ්ඩලයක මූල්‍ය ප්‍රකාශන වගේම ඒ මූල්‍ය ප්‍රකාශන අදාල ප්‍රමිතියට සකස් කර තිබෙනවාද කියන එක බලන්නෙත් විගණනයෙන්. මූල්‍ය ප්‍රකාශන හදපු පලියට පිළිගන්නේ නැහැ. අදාල නිර්දේශය ලබා දෙන්නේ විගණකාධිපතිවරයා. සමහර වාර්තා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ මතය ඉදිරිපත් නොකර සිටීම කළ හැකියි. වාර්තා පිළි නොගැනීම තවත් බරපතලයි. ඒ වගේම ප්‍රතික්‍ෂේප කිරීම ඊටත් වඩා බරපතලයි. විගණකාධිපතිවරයා මූල්‍ය විගණනය සම්බන්ධයෙන් මේ ආකාරයෙන් පුළුල් වගකීමක් දරනවා.
ඊළඟට, කාර්ය සාධන විගණනය කියල එකක් තියෙනවා. යෙදූ මුදලට ලාභය පෙන්වා තිබුණත් සමස්ත ක්‍රියාවලිය නිසි පරිදි සිදුකර උපරිම ප්‍රතිලාභ ලබා තිබෙනවාද කියන එක පෙන්වන්නේ කාර්ය සාධනයෙන්. ඒ තුළින් සමස්ත ක්‍රියාවලිය විමර්ශනයට ලක් කරනවා. විගණනයෙන් තවත් එහාට ගිහිල්ලා මෑත කාලයේ අපේ රටේ ජනප්‍රිය වුණු වෝහාරික විගණනය කියන සෛලගත විමර්ශණයටත් ලක්කරනවා. හරියට වෛද්‍ය විද්‍යාවේ වෝහාරික පරීක්‍ෂණයක් කරනවා වගේ. අනෙක් පැත්තෙන් පාරිසරික විගණනය කියල දේකුත් තියෙනවා. ව්‍යාපෘතියක් වගේම සමස්ත පරිසරයට සිදුවන බලපෑම ගැනත් ඒ මගින් විමර්ශනය කරනවා. මේ විගණයෙන් අර මෑතදී රජයේ ඇමතිවරයෙක් කිව්වා වගේ අපිට ඔක්සිජන් ඕනෑ නෑ කියන තර්කවලට උත්තර ලැබෙනවා. ක්‍රීඩා පිටිය වෙන තැනකට ගෙනියලා ඔක්සිජන් නිෂ්පාදනය කරන පාරිසරික පද්ධතිය ආරක්‍ෂා කිරීමට නිර්දේශ කරන්නේ මේ විගණනයෙන්. මිනිසුන්ට වගේම සත්තුන්ට ජීවත් වීමේ අයිතිය ගැන කියන්නෙත් ඒ මගින්. තව පැත්තකින් පද්ධති විගණනය කියලත් තියෙනවා. උදාහරණයක් හැටියට අභ්‍යන්තර පාලන පද්ධතිය හෝ තොරතුරු පද්ධතිය නිසි ආකාරයෙන් පාලනය කෙරෙනවාද කියල බලන්නේ මේ විගණනයෙන්.
මේ සමස්ත විගණන ක්‍රියාවලියම අපේක්‍ෂා කරන්නේ රජයක් ජනතාවගේ බදු මුදල් සාධාරණ ප්‍රතිලාභ ලබාගත හැකි විදිහට යොදවලා තියෙනවාද කියලා පරීක්‍ෂා කරන එක. විගණන කොමිසම නොතිබුණත්, විගණකාධිපතිවරයාගේ වාර්තා නැතිව වුණත් මේ ආයතන කෝප් කමිටුවට කැඳවන්න පුළුවන් නේද කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත් එහෙම කැඳවලා ඇති වැඬේ මොකක්ද? විගණකාධිපතිවරයා ලබාදෙන වාර්තා අනුව තමයි අපි ඒ ආයතන සම්බන්ධයෙන් කෝප් කමිටුවේ ස්වාධීන පරීක්‍ෂණයක් සිද්ධ කරන්නේ. සුප්‍රසිද්ධ මහබැංකු වංචාව පිළිබඳ පරීක්‍ෂණයේදී විගණකාධිපතිවරයාගේ පරීක්‍ෂණ කොතරම් වැදගත් වුණාද කියලා ඔබ දන්නවා. නමුත් අලුත් 20වැනි සංශෝධණය යටතේ රාජ්‍ය සමාගම් 117ක් රාජ්‍ය විගණනයෙන් ඉවත් කරලා. 19වැනි සංශෝධනය යටතේ විගණන කොමිසම මගින් විගණකාධිපතිවරයාට බලය පැවරුවාට පස්සේ රාජ්‍ය සමාගම් බොහොමයක් පෞද්ගලික විගණන සමාගම්වලින් ලබාදී තිබූ වාර්තා වෙනුවට විගණකාධිපතිවරයාගේ බලතල යටතට පත් කළා. පහුගිය කාලයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ටෙලිකොම් සමාගම වගේම විදුලිබල මණ්ඩලයේ එල්.ටී.එල් සමාගමත් කෝප් කමිටුවට එන්න බැඳීමක් නැහැ කියලා අභියෝග කළා. නමුත් පාර්ලිමේන්තුව සතුව මූල්‍ය බලය විගණනය කිරීම විගණකාධිපතිට තිබුණු නිසා මේ ආයතන සියල්ලම අපි කෝප් කමිටුවට කැඳෙව්වා.
ඊළඟට වැදගත් දේ, 20වැනි සංශෝධනයෙන් ප්‍රසම්පාදන කොමිසම ඉවත් කිරීම. මේ මගින් සිදුවන ක්‍රියාවලිය සමහර අයට තේරෙන්නේ නැහැ. රජය, රජයේ ආයතන මිලදී ගැනීමේ ක්‍රියාවලිය සිදුකළ යුත්තේ කොහොමද කියලා ටෙන්ඩර් කැඳවීම ආදී ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළින්. ජනාධිපතිවරයාගේ ඉඳලාම රජයේ මැති ඇමතිවරුන්ට සහ ආයතනවලට මිලදී ගැනීමේ ක්‍රියාවලිය නිර්දේශ කරන්නේ සහ අධීක්‍ෂණය කරන්නේ ප්‍රසම්පාදන කොමිසමෙන්. මිලදී ගැනීමේ ක්‍රියාවලියක වියදම් සීමාව අනුව ආයනයක සභාපතිවරයා, ගණකාධිකාරිවරයා, මැනේජර්වරයා, ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය, අමාත්‍යාංශයක නම් ලේකම්වරයා හෝ කැබිනට් මණ්ඩලයේ නිර්දේශ අවශ්‍යද කියලා තීරණය කරන්නේ ප්‍රසම්පාදන නිර්ණායක අනුවයි. ව්‍යවස්ථාවෙන්ම මේ කොමිසමේ බලතල අයින් කළාම මොකක්ද වෙන්නේ? පහුගිය කාලයේ සිදුවුණු හෙජිං ගනුදෙනුව, ගල් අඟුරු මිලදී ගැනීමේ ගනුදෙනුව, සතොස හාල් ගෙන්වීම, පශු සම්පත් මණ්ඩලයට කිරි හරක් ගෙන්වීම, වගේ අවස්ථාවල වංචා-දූෂණ අපි හෙව්වේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ ඊට අදාල විගණනය නිසයි. ඕනෑම ගනුදෙනුවක විනිවිදභාවය තීරණය කරන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ශක්තිමත්භාවය අනුවයි. පහුගිය ආණ්ඩු කාලයේ අද බලයේ ඉන්න ආණ්ඩුව අධිවේගී මාර්ගවල වංචා-දූෂණ සිදුවන බවට කෑගැහුවේ මේ නිර්ණායක අනුව හෙළිවූ තොරතුරුවලින්. එදා ප්‍රසම්පාදන කොමිසමක් තිබිලත් වංචා දූෂණ සිදුකළා නම් එහෙම නැති තත්වයක් තුළ තත්වය මොකක්ද? හැබැයි 20වැනි සංශෝධණය වුණාට පස්සේ ප්‍රසම්පාදන කොමිසම අහෝසි වීම නිසා එහෙම ප්‍රශ්න කරන්න බැහැ.
විගණකාධිපතිවරයා පත් කිරීම සහ විගණන නිලධාරීන් පත් කිරීම හිතුමතේ කරන්න බැහැ. 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන පනත මගින් වරලත් සුදුසුකම් සහිත විගණකයෙක් කියන්නේ කවුද කියලා නිර්දේශ ලබාදී තිබෙනවා. 19වැනි සංශෝධනයේ 153.1 යතෛ් විගණකාධිපති ධූරයට පත්කරන කෙනා සුදුසුකම් ලත් විගණකවරයෙක් ව්‍යවස්ථා සභාවේ අනුමැතිය යටතේ ජනාධිපතිවරයා විසින් පත්කළ යුතු බව සඳහන් වෙනවා මෙහිදී අවධාරණය කරන්නේ සුදුසුකම් ලත් විගණකවරයෙක් විගණකාධිපති වශයෙන් පත්කළ යුතු බවයි. නමුත් 20වැනි සංශෝධනයෙන් විගණකාධිපතිවරයා පත් කිරීමේ බලය ජනාධිපතිට ලබාදෙනවා වගේම ඔහු සුදුසුකම් ලත් පුද්ගලයෙක් විය යුතුයි කියන කොන්දේසිය අයින් කරලා. ජනාධිපතිවරයා කට වචනයෙන් පත් කරන පුද්ගලයෙක් සම්බන්ධයෙන් චක්‍රලේඛත් අවශ්‍ය නැති බවයි දැන් පේන්නේ. සර්කියුලර් වෙනුවට මේ දවස්වල ජනාධිපතිතුමා කියන විදිහට “සර් කියූ දේ” සර්කියුලර් බවට පත්වෙනවා. ඒකට සුදුසුකම් ලත් පුද්ගලයින්ද නැද්ද යන්න අදාල වෙන්නේ නැහැ. කර්නල් කෙනෙකුටත් විගණකාධිපති වෙන්න පුළුවන්. අද ගමන් කරමින් තියෙන්නේ සර් කියූ දේ චක්‍රලේඛයක් බවට පත්වන රටක් බවට.
මේ සියල්ල සකස් වෙන්නේ විගණන කොමිසමේ ක්‍රියාවලියෙන් එළියට ගිහිල්ලා නම්, නීතියක් නැති රටක් බවට පත් වෙනවා නම්, චක්‍රලේඛ වලංගු නැති තත්වයට පත් වෙනවා නම් මූල්‍ය පාලනය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවෙන් ගැලවිලා සර් කියූ දේ බවට පත්වීම ඉතාම භයානකයි. එතකොට රටක් කොහේද යන්නේ? එතකොට කෝප් කමිටුව වැඩක් නැහැ. මේ සමස්ත ක්‍රියාවලියම ජනතාව තේරුම් ගන්න කියලා ඕනෑකමින් ඉල්ලනවා. පාර්ලිමේන්තුව මාධ්‍යට විවෘත කළා. කෝප් කමිටුවත් විවෘත කළා. ආංශික කාරක සභා විවෘත කරන්න සාකච්ඡාවක් තිබුණා. නීති අනපනත්වල බලය ශක්තිමත් කරන්න කෝප් කමිටුවට අධිකරණ නිලධාරීන් සම්බන්ධ කර ගැනීමේ සාකච්ඡාවක් තිබුණා. ඉතා ඉක්මනින් නඩු දාන්න හැකි තත්වයකට පෙළ ගස්වමින් තිබුණා. නමුත් සර්ට ඕනෑ කෙනෙක් විගණකාධිපති ලෙස පත් කළාම වරළත් ගණකාධිකාරීවරුන්ට උගන්වන දේවල්, විශ්වවිද්‍යාලවල උගන්වන දේවල් වැඩක් නැති තත්වයට පත් වෙනවා. සුදුසුකම් ලත් සියලු දෙනා සර් කියූ අයට යටත් කෙරෙනවා. මේක බරපතලයි.
විගණන කොමිෂන් සභාව ඉවත් කිරීම තවත් බරපතල දෙයක්. පාර්ලිමේන්තුවට තියෙන රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ බලය මේ කොමිසම අහිමි කිරීමෙන් කැඳ හැළියක් බවට පත් වෙනවා. කෝප් කමිටුව එහෙම තිබුණු කාලයක් අපි දැක්කා. නමුත් අපි ඒ තත්වය වෙනස් කළා. කෝප් කමිටුවේ සාමාජිකත්වය දරන ඇමතිවරයෙකු යටතේ තිබෙන ආයතනයක් කමිටුවට කැඳවනවා නම් ඒ ඇමතිවරයා කෝප් කමිටුවෙන් ඉවත් කිරීමේ සම්ප්‍රදායක් ඇති කළා. හැබැයි දැන් මොකද වෙන්නේ? විගණක කොමිසම එළියට දාලා කෝප් කමිටුවට ආණ්ඩු පක්‍ෂයෙන් සභාපතිව පත් කරගෙන මාධ්‍යට වහලා තමන්ට කැමති ආයතන කමිටුව ඉදිරියට කැඳවලා දුක සැප අහලා යවන්න පුළුවන්. 20වැනි සංශෝධනය නිසා විගණකාධිපතිවරයා ස්වාධීන පුද්ගලයෙක් වෙනුවට තවත් එක රජයේ නිලධාරියෙක් බවට පත් වෙනවා. ඒ වගේම රාජ්‍ය සමාගම් 117ක් විගණනයෙන් ඉවත් කිරීම නිසා කෝටි 74,300ක වත්කම් තිබෙන ආයතන පැත්තකට දානවා. මේ සමාගම්වල ආදායම වාර්ෂිකව රු. කෝටි 32,471ක් උපයනවා. මේ විගණනය සම්පූර්ණයෙන්ම රාජ්‍ය විගණනයෙන් අහිමි වෙනවා. මේ සියලුම දේවල් ගඟේ මුහුදේ දැම්මා හා සමාන වෙනවා. ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවේ ප්‍රධානීන්ට 20වැනි සංශෝධනය මගින් යෝජනා කර තිබෙන විගණයට සම්බන්ධ අනර්ථකාරී කරුණු ගැන විගණන සේවා සංගමය විසින් බාරදී තිබෙන වාර්තාවක මේ දත්ත සියල්ලම ඇතුළත් කර තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලංකා හොස්පිට්ල් ආයතනය, ශ්‍රී ලංකා රක්‍ෂණ සමාගම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, රක්නා ලංකා ආරක්‍ෂක සේවය, සීනෝර් පදනම, මිල්කෝ ආයතනය, වෝටර්ස් ඒජ් වගේ ආයතන පහුගිය කාලයේ විශාල ආන්දෝලනාත්මක වංචා-දූෂණ සිදුකළ තැන්. මේ රටේ ජනතාවට අපි අවධාරණය කරන්නේ ඔවුන්ගේ බදු මුදල්වලින් ක්‍රියාත්මක වන ආයතන 117ක කිසිම වගකීමක් විගණනය හරහා පාර්ලිමේන්තුවට එන්නේ නැති බවයි. ඒ වගේම නවක මන්ත්‍රීවරයෙක් කෝප් කමිටුවට පත් කිරීම බොහෝ දෙනාගේ සාකච්ඡාවට ලක් වෙනවා. අලුතින්ම පත්වුණු මන්ත්‍රීවරයෙක් කතානායක කර ගත්තොත් මොකද වෙන්නේ? අලුත් මන්ත්‍රීවරයෙක් කෝප් කමිටුටව පත් කර ගැනීමේ අයිතිය තිබෙනවා. මේ පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අභිලාෂය මොකක්ද? පළවැනි වතාවට පත්වුණු මන්ත්‍රීවරයෙක් පත්කර ගැනීමෙන් යකාගේ හැටියට විමානේ බවට පත්වනවා. හොරකම් කරලා හැංගෙන්න පුළුවන් විදිහට විගණන කොමිසම අයින් කරලා, ප්‍රසම්පාදන කොමිසම අයින් කරලා සුදුසුකම් ලත් විගණකාධිපතිවරයෙක් පැත්තකට දාලා කරන්න සූදානම් වෙන්නේ මොකක්ද? 2/3ක බලයක් තියෙනවා කිව්වත් රටට මේ තරම් ව්‍යසනයක් කරන්න ආණ්ඩුවට බලයක් අපේ රටේ ජනතාව දීලා නැහැ. චක්‍රලේඛ කියන්නේ ජනාපතිතුමාගේ කටින් පිටවන වචන බවට පත් කරනවා කියලා ඡන්දයට කලින් කිව්වේ නැහැ. නීතිය උඩ ලැගලා, ව්‍යවස්ථාව විනාශ කරලා පාර්ලිමේන්තුව ඒ ගොල්ලන්ගේ රූකඩ බවට පත් කරගන්න අපේ රටේ ජනතාව බලය දුන්නා කියලා මම හිතන්නේ නැහැ. රටේ ජනතාව දිනාගෙන තියෙන බලතල අහිමි කරමින් ජනාධිපතිතුමා කොහේ රිංගුවත් වැඩක් නැහැ. නාගරික සංවර්ධන අධිකාරියට, වෙනත් රාජ්‍ය ආයතනවලට වගේම අලි ගහපු නිවාස බලන්න මාධ්‍ය අරන් ගියාට වැඩක් වෙන්නේ නැහැ. ඒවා මීඩියා ෂෝ විතරයි.
රටේ මහජනතාවගේ මුදල් මංකොල්ල කෑමට සුජාතභාවය හදන මේ සමස්ත පසුබිම නිර්මාණය කිරීමට ගේන 20වැනි ව්‍යවස්ථා සංශෝධනයට මහජනතාව විරුද්ධ වෙන්න ඕනෑ. හෘද සාක්‍ෂියක් තියෙනවා නම් ආණ්ඩු පක්‍ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් මේකට විරුද්ධ වෙන්න ඕනෑ. 87 ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව හෘදය සාක්‍ෂියට අනුව ක්‍රියා කළ කෙනෙක් අද කතානායකවරයා ලෙස ඉන්නවා. ඒ වගේ හෘදය සාක්‍ෂියට අනුව ක්‍රියා කරන හැටියට පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයන්ගෙන් බලකර ඉල්ලා සිටිනවා. තමන් හුස්ම ගන්න කාලයේ රටට විනාශයක් වෙන්න යනවා කියල දැනෙන හෘද සාක්‍ෂියක් තියෙන මහා සංඝරත්නය ඇතුලු ආගමික නායකයින්, රටේ උගතුන්, බුද්ධිමතුන් ප්‍රගතිශීලී ව්‍යාපාරිකයින්, කලාකරුවන් සහ මාධ්‍යවලට වගේම මාධ්‍ය ආයතනවල හෘද සාක්‍ෂියක් සහිත අයිතිකරුවන්ගෙන් අපි ඉල්ලා සිටිනවා, අපට ජීවත් වීමට ඉඩ හදා දුන් මේ මහ පොළොව සහ දූ දරුවන් වෙනුවෙන් හඬක් නගන්න කියලා ඉල්ලා සිටිනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *