කුඩා සහ මධ්‍ය පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වැඩිදියුණු කිරීම සහ ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින් දිරිමත් කිරීම අරමුණු කරගනිමින්, “පියැසිපාදක සූර්ය බලශක්තිය එක්කිරීමේ හා අතත්‍ය ශුද්ධ මනුකරණය පිළිබඳ ව්‍යාපෘතිය” ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා ගැනීම පිණිස ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපා සංගමය සහ ඒකාබද්ධ ණය යාන්ත්‍රණය සඳහා වන ජපන් අරමුදල සමඟ පැවති සාකච්ඡා මේ වන විට සාර්ථකව අවසන් කර ඇත.
ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුවේ සහනදායී සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 35ක ණය මුදලක්, යුරෝපා සංගමය වෙතින් යුරෝ මිලියන 15.4ක ප්‍රදානයක් සහ ඒකාබද්ධ ණය යාන්ත්‍රණය සඳහා වන ජපන් අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා අදාළ ගිවිසුම්වලට එළඹීමට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය මගින් සූර්ය බලශක්තිය වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීමට සහ ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට විශාල පිටුබලයක් ලැබෙනු ඇත.














