ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක වන වේගවත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීය ශිල්පීන් සඳහා දැඩි හිඟයක් මතුව ඇති බවත්, එම අවශ්‍යතාව සපුරාලීම සඳහා ඉදිරියේදී විදේශීය ඉදිකිරීම් වෘත්තිකයන් දසදහසකට අධික පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට සිදුවන බවත් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෙම වසර අවසානයේ සහ ලබන වසර මුලදී ආරම්භ වීමට නියමිත දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙල්ඩින් ශිල්පීන් සහ විදුලි කාර්මිකයන් වැනි දක්ෂ වෘත්තිකයන් සොයා ගැනීම මේ වන විටත් අභියෝගයක් වී ඇති බවයි. කලාපීය රටවල් වන ඉන්දියාව සහ පකිස්ථානය අභිබවා යමින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රට බවට පත්වෙමින් තිබෙන බැවින්, දේශීය ශ්‍රම වෙළෙඳපොළේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා මෙවැනි විදේශීය ශ්‍රමිකයන්ගේ සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය පියවරක් බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.












