දිවයිනේ සමස්ත ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩඉම් විභාග කඩිනමින් පැවැත්වීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
එම සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණවලට අනුව, ගුරු සේවයේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය. එමෙන්ම දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමටත්, තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමටත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සිය නිල එකඟතාව පළ කර ඇත.
















