දකුණු කොරියාවේ සෝල් නුවර පැවති 41 වැනි සෝල් ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේදී (SITF 2026) රටවල් 40කට ආසන්න සංඛ්‍යාවක් සමඟ තරඟ කරමින් ගෞරවනීය සම්මාන හතරක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා සිදුකළ විශිෂ්ට සේවාව අගයමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා වෙත “SITF Eminent Tourism Pioneer Award” සම්මානය පිරිනමන ලදී. SITF ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකිකයෙකු මෙම ඉහළම ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වීම සුවිශේෂී කරුණක් වන අතර, මෙවර මෙම සම්මානය සඳහා තෝරාගෙන තිබුණේ ජාත්‍යන්තර පුද්ගලයින් තිදෙනෙකු පමණි.
මීට අමතරව, ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) තවත් විශිෂ්ට ජාත්‍යන්තර සම්මාන තුනක් දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය වෙනුවෙන් “Best Popular Booth Award” සම්මානය ද, ඇඹැක්කේ දැව කැටයම් ආශ්‍රිත නිර්මාණාත්මක සැලසුම වෙනුවෙන් “Best Booth Design Award” සම්මානය ද, සාම්ප්‍රදායික නර්තන හා වාද්‍ය සංදර්ශන වෙනුවෙන් “Best Performance Award” සම්මානය ද ශ්‍රී ලංකාවට හිමිවිය. රටේ ගමනාන්ත අලෙවිකරණය සහ සංස්කෘතික ඉදිරිපත් කිරීමේ විශිෂ්ටත්වය ජාත්‍යන්තර වශයෙන් මෙලෙස ඇගයීමට ලක්වීම ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට ලැබුණු මහඟු පිළිගැනීමකි.
















