තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ අම්පාර මහ රෝහලේ සේවය කළ 34 හැවිරිදි භෞත චිකිත්සකවරියක වන ශම්‍යා දර්ශනී නැමැත්තියකි. ඇය සිය පෙම්වතා සමඟ කැනඩාවට යෑමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි එකහමාරක මුදලක් ණයට ලබාගෙන ඔහුට දී ඇති අතර, විදේශගත වීම ප්‍රමාද වීම නිසා ඇය දැඩි මානසික පීඩනයකින් නුවරඑළියේ නිවාස සංකීර්ණයක රැඳී සිට ඇත. ඉකුත් 16 වැනිදා රාත්‍රියේ සිහිසුන්ව සිටි ඇයව, ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවරයකු වන ඇයගේ පෙම්වතා විසින් මෝටර් රථයකින් රැගෙන ගොස් ඇති බව සීසීටීවී දර්ශන මඟින් තහවුරු වී තිබේ.
පසුව සැකකරු විසින් ඇයගේ මළ සිරුර තෙල්දෙණිය රෝහල අසල රථගාලක මෝටර් රථය තුළ දමා, ඒ පිළිබඳව තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපතිවරයාට නාඳුනන ඇමතුමකින් දැනුම් දී ප්‍රදේශයෙන් පලාගොස් ඇත. දේහය ප්‍රවාහනය කිරීමට භාවිත කර ඇත්තේ සැකකරුගේ අම්පාර ප්‍රදේශයේ පදිංචි වෙනත් පෙම්වතියකට අයත් මෝටර් රථයකි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර, මෙය ඝාතනයක්ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක්ද යන්න තහවුරු කරගැනීම සඳහා පලාගොස් සිටින දිනෙත් දිසානායක නැමැති සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි. නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
















