එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (ඩුබායි) සේවා සම්පාදකයෙකුගේ ඊමේල් ගිණුමක් හැක් කිරීම (Cyber Hack) හරහා සිදු වූ මූල්‍ය වංචාවේ සහ ඉන්දියාවේ චෙන්නායි කාර්යාලයේ සිදු වූ මුදල් අවභාවිතයේ අලාභය පියවා ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින බව ශ්‍රීලන්කන් ගුවන් සේවය නිල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඩුබායි පදනම් කරගත් සේවා සපයන්නෙකු වෙත ගෙවීමට තිබූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් 974,000ක (රුපියල් කෝටි 80කට ආසන්න) මුදලක් තෙවැනි පාර්ශවයක් විසින් අදාළ සේවා සපයන්නාගේ ඊමේල් පද්ධතිය හැක් කර, බැංකු ගිණුම් විස්තර ව්‍යාජ ලෙස වෙනස් කර ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත. නිසි ලියකියවිලි සහ නිල විද්‍යුත් තැපැල් මාර්ග හරහා මෙම ව්‍යාජ තොරතුරු ලැබීම නිසා සැබෑ සමාගම සමඟ ගනුදෙනු කරන බව සිතා ශ්‍රීලන්කන් සමාගම මෙම ගෙවීම් කර තිබේ. කෙසේ වෙතත්, මෙම වංචාව සිදුව ඇත්තේ තම පාලනයෙන් බැහැරව, සේවා සපයන්නාගේ පද්ධතියේ පැවති දෝෂයක් නිසා බැවින් අතුරුදන් වූ අරමුදල් සඳහා ශ්‍රීලන්කන් ගුවන් සමාගම වගකිවයුතු නොවන බව එම නිවේදනයේ අවධාරණය කර ඇත. මේ වන විට එම ගිණුමට කරන සියලු ගෙවීම් අත්හිටුවා ඇති අතර ශ්‍රී ලංකා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) සහ ඩුබායි බලධාරීන් ඒකාබද්ධව අඛණ්ඩ පරීක්ෂණ සිදු කරයි.
මීට අමතරව, චෙන්නායි කාර්යාලයේ මූල්‍ය අංශයේ සේවය කළ ඉන්දීය සේවකයන් කිහිපදෙනෙකු විසින් දීර්ඝ කාලයක සිට ඉන්වොයිසි සහ ගෙවීම් විස්තර වංචනික ලෙස වෙනස් කරමින් රුපියල් මිලියන 22ක මුදලක් අවභාවිත කර ඇති බව ද කොළඹ ප්‍රධාන කාර්යාලය විසින් අනාවරණය කරගෙන තිබේ. මෙම වංචාව සම්බන්ධයෙන් ද අවශ්‍ය ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඉන්දීය නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත සියලු තොරතුරු භාර දී ඇති බව ශ්‍රීලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.















