27 April 2024
#දේශීය

කාන්තාව ලිප්ගල් තුනට කොටු කරන පාලනයට එරෙහිව නැගී සිටින්න – සමන්මලී ගුණසිංහ

ඡන්දයෙන් හොරකම් කරන්න නායකයන් පත්කර ගත්තා ඇති ලෙසත් ඇත්තටම රට සංවර්ධනය කරන මාවතට මුලින්ම හැරෙන්න ඕන කාන්තාවෝ බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ ඊයේ (14) ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදිය.

එහිදී ඇය කියා සිටියේ මේ රටේ කාන්තාවන් තමන්ගේ පවුල් ගොඩ ගන්න, දරුවට කිරි වේලක් දෙන්න, දරුවට හොඳ අනාගතයක් හදන්න පුළුවන් ආණ්ඩුවක් පිහිටුවා ගන්න ඕනෑ බවයි.
මේ නායකයෝ හදන්නේ 21 වෙනි සියවසේ දියුණු තත්වයකට අපේ කාන්තාවන් ගෙන යන්න නොව නැවතත් ලිප්ගල් තුනට කාන්තාවන් කොටු කරන්නට බව ඇය කියා සිටියාය.

එහිදී සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් මෙසේ අදහස් පල කලේය “මේ වන විට බඩු මිල වැඩිවීමෙන් අපේ රටේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මේ රටේ පාලකයන්ට පෙන්වා දෙන්න සිදු වී තිබෙනවා. වර්තමාන ආණ්ඩුව බලයට පත්වී අවුරුදු දෙකක්වත් ගත වෙන්න පෙර මැතිවරණවලදී විශේෂයෙන්ම කාන්තාවන්ට දුන් පොරොන්දු සියල්ල කඩකර තිබෙනවා. නමුත් අගමැතිකම, ජනාධිපතිකම, 2/3 බලය සහ 20 වෙනි සංශෝධනය යටතේ ජනතාධිපතිතුමාට වැඩි බලතල ලබාදීම සහ හදිසි නීතිය යටතේ තවත් බලතල රාශියක් ලබා ගත්තා. කාන්තාවන් මුහුණ දෙන ආර්ථික සමාජීය ප්‍රශ්න විසඳන්න ඔවුන් බලය ඉල්ලුවා. කාන්තාවන් ප්‍රමුඛව ජනතාව බලය දීලා කෙටි කාලයකදීම මේ කණ්ඩායමට රටක් හදනවා තියා ගමේ පුංචි ප්‍රශ්නයක්වත් විදන්න බැහැ කියලා දැන් පැහැදිලි වෙනවා. අපේ රටේ ජනාධිපති, අගමැතිට වඩා හාල් මුදලාලිලාගේ නම් දන්නවා. සීනි මුදලාලිලාගේ නම් දන්නවා. පීඩාවට පත්වී උහුලගන්න බැරිව ඉන්න ජනතාවට දැන් විඳවන්න සිදුවී තිබෙනවා.

පහුගිය කාලයේ එන්නත් පෝලිම් තිබුණා. ඒ වගේම සමෘද්ධිය වගේ සහනාධාර ගන්නත් පෝලිම්වල හිටියා. මේ පෝලිම් සියල්ලටම වැඩිය අලුත් පෝලිම් ගමක් ගානේ ඇති වුණා. රොකට් වේගයෙන් රට සංවර්ධනය කරන බව කීවාට නැවතත් පෝලිම් යුගයට ගෙන ගියා. සීනි කිලෝ දෙකක් ගන්න, කිරිපිටි පැකට් එකක් ගන්න, අඩු මිලට හාල් ගන්න, ගෑස් ගන්න, මහපාරේ පොලිම්වල ඉන්න කාන්තාවන්ට සිදුවුණා. නමුත් අපේ රටේ නායකයෝ ගුවන්ගත වුණා. බහුතර කාන්තාවෝ පෝලිම්ගත වුණා. මේක තමයි ඇති කළ ආර්ථික සෞභාග්‍යය. ආණ්ඩුව ගෑස්, හාල්, සීනි මුලලාලිලාට මුවාවුණා. මේ නිසා ලංකා ඉතිහාසයේ 84%කින් ගෑස් මිල වැඩි කිරීමට ඒ කොම්පැනිකාරයෝ ක්‍රියාකළා. ගෑස් මිල වැඩි කිරීමෙන් ප්ලේන්ටියේ ඉඳලා මිල වැඩි වෙනවා. ප්‍රවාහන ගාස්තු අමතර ගාස්තු යනාදී වශයෙන් කොපමණ ගාස්තු එකතු කරනවාද? ඒ අතර ගෑස් මිල වැඩිවීම කිසිසේත් දරාගත නොහැකි මහා පීඩනයක් බවට පත්වී තිබෙනවා.

ගෑස්වලින් උයන බහුතරයක් කාන්තාවන්ට ලිපට දාන්න කියන්නේ මොනවාද? කොන්ක්‍රීට් යුගයකට රට ගෙන ගිය නිසා වනාන්තර නැහැ. අනික් පැත්තෙන් අපේ නිවාස පර්චස් කීපයකට සීමා වෙලා තියෙන්නේ. ඒ වගේම තට්ටු නිවාසවල විශාල ජනතාවක් ඉන්නවා. මේ තට්ටු නිවාසවල දර ලිපක් හදා ගන්න පුලුවන්ද? ගෑස් ලිපට මොනවා දාලාද ගිනි මොළවන්නේ? සෞභාග්‍යයේ දැක්ම දාලාද? එහෙම නැත්නම් ළඟදී හෙළිවුණු පැන්ඩෝරා පේපර්ස් දාලාද? සීයයට 84කින් ගෑස් මිල වැඩි වුණාට පස්සේ ගෑස් සිලින්ඩරයක් ගන්නේ කොහොමද? මේ වන විට කාන්තාවෝ භූමිතෙල් ලිප් හොයා ගෙන යන අලුත් පෝලිමක් හැදිලා. ඉතාමත්ම අවම භූමිතෙල් ලිප තිබුණේ රුපියල් 500ට. හවස මිලදී ගන්න යද්දී රුපියල් 950 දක්වා වැඩි කරලා. උදේ මිල අහලා සල්ලි හොයා ගෙන සවස යද්දී මේ ආකාරයට මිල වැඩි කරනවා නම් මොකද කරන්නේ? රුපියල් 1500ට තිබුණු භූමිතෙල් ලිප රුපියල් 4500ක් වෙනවා. ඇමතිවරු අගමැතිවරු මේවා ගැන හොයන්න නැහැ. හිතෙන හිතෙන ආකාරයට මිල වැඩි කරනවා. රොකට් වේගයෙන් ආර්ථිකය හදන බව කීවාට මුළු කුස්සියම අඳුරු කළා. දරුවන්ට එක වේලක් හරි උයලා දෙන්න කාන්තාවෝ දැන් මොකද කරන්නේ?

හැබැයි, ශ්‍රී ලංකා මහ බැංකුව උද්ධමනය සම්බන්ධයෙන් හරි අපූරු මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. “කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේදී 5.7%කින් අඩු වෙලා තිබෙනවා.” කියලා ඒ නිවේදනයේ සඳහන් වෙනවා. බඩු මිල අඩුවෙලාද, වැඩිවෙලාද, රුපියල බාල්දු වෙලාද නැද්ද කියලා මේ නිවේදන නිකුත් කරන මහත්වරු ගිහින් බලන්න. අගමැතිවරයා, ඇමතිවරු කඩවලට යන්න. මේ ආණ්ඩුවෙන් රුපියල් 60ට අඩුකළ පරිප්පු දැන් 260 වෙලා නැද්ද? උද්ධමනය වැඩි වෙලා තියෙන හැටි රුපියල් 5000 කොළය රුපියල් 100ක්වත් වටින්නේ නැති තැනට පත්වීමෙන් පැහැදිලි වෙනවා. මාධ්‍ය නිවේදන නිකුත් කරන නිලධාරීන්, භාණ්ඩාගාර ලේකම් නොදන්නවා වුණාට කඩේ මුදලාලිත් අපේ අම්මාත් බඩුමිල වැඩිවීම ගැන දන්නවා. ඒ නිසා මේ වගේ මිනිස්සුන්ව අන්දන එක දැන්වත් නවත්වන්න කියලා අවධාරණය කරනවා.

අපේ රටේ ගොඩ ගැසී තිබෙන විශාල ණය ප්‍රමාණය සංවර්ධනයට යොදාගෙන තිබෙනවාද? ආයෝජනය කර තිබෙනවාද? විශාල ප්‍රමාණයක් හොරකම් කර තිබෙනවා. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගන්න ඩොලර් නැති තත්වයට අර්බුදය බරපතළ වී තිබෙනවා. මේ ගැන කාන්තාවෝ දැනුවත් වෙන්න ඕනෑ. ට්‍රිලියන ගණන් ණය අරගෙන රට හදන්න බැරි වෙලා තියෙන්නේ ඇයි කියලා කාන්තාවෝ කල්පනා කරන්න ඕනෑ. ඇත්ත ප්‍රශ්නයක, රට පාලනය කළ දූෂිත නායකයෝ හොරකම් කර තිබෙනවා. ඒ අයට ආර්ථිකය ශක්තිමත් කරන්න බැහැ. බඩුමිල අඩු කරන්න බැහැ. රුපියල් බිලියන 35ක හෙළිදරව් නොකළ මුදල් තැන්පත් කර තිබෙන බව පැන්ඩෝරා පත්‍රිකාවලින් කියනවා. මේ එකක් විතරයි. ජනතාව ණය වෙනවා, දුප්පත් වෙනවා. කාන්තාවන්ගේ ආර්ථිකය වැටී දරුවාට කිරි වේලක් දෙන්න විදිහක් නෑ. නමුත් රටේ නායකයින්ගේ ආර්ථිකය පොහොසත් වෙනවා. මේ ප්‍රශ්නය වඩාත් හොඳින් තේරුම් ගන්න ඕනෑ කාන්තාවන්. මේ රටට ඩොලර් ගේන්නේ වාර්ෂිකව 295,000ක් විතර විදේශ ගත වෙන ශ්‍රමිකයන්. මෙයින් 90,000ක් පමණයි පුහුණු ශ්‍රමිකයන්.

ඉතිරි 205,000න් බහුතරයක්ම කාන්තාවන්. ඔවුන් මැද පෙරදිග යන කාන්තාවන්. ඔවුන් වාර්ෂිකව ඩොලර් බිලියන 07ක් උපයා දෙනවා. මේ ඩොලර් බිලියන 07 අපේ කාන්තාවන් පිටරට පාරවල් සුද්ධ කරලා එහෙම නැත්නම් ගෘහණියන් හැටියට වැඩ කරලා එවන මුදල්. මේ මුදල්වලින් පාලකයන් හොරකම් කළ නිසා කිරිපිටි වරායෙන් බා ගන්න විදිහක් නැහැ. සීනි නැව බා ගන්න විදිහක් නැහැ. මේ හොරකම් කිරීම නැවැත්තුවේ නැත්නම් රටක් හදන්න විදිහක් නැහැ. අපි කාන්තාවන්ගෙන් ඉල්ලන්නේ ඔබේ ඡන්දයෙන් හොරකම් කරන්න නායකයන් පත්කර ගත්තා ඇති කියලා. ඒ නිසා වහාම ඔබ මේ ගැන දැනුවත් වී අනික් අයත් දැනුවත් කරන්න. ඇත්තටම රට සංවර්ධනය කරන මාවතට මුලින්ම හැරෙන්න ඕන කාන්තාවෝ. මේ රටේ කාන්තාවන් තමන්ගේ පවුල් ගොඩ ගන්න, දරුවට කිරි වේලක් දෙන්න, දරුවට හොඳ අනාගතයක් හදන්න පුළුවන් ආණ්ඩුවක් පිහිටුවා ගන්න ඕනෑ. මේ නායකයෝ හදන්නේ 21 වෙනි සියවසේ දියුණු තත්වයකට අපේ කාන්තාවන් ගෙන යන්න නොවෙයි, නැවතත් ලිප්ගල් තුනට කාන්තාවන් කොටු කරන්නයි. කාන්තාව ලිප්ගල් තුනට කොටු කරන්න හදන මේ පාලන ක්‍රමයට එරෙහිව ඔබ නැගී සිටින්න. එහෙම කළොත් විතරයි මේ සමාජය වෙනස් කරන්න හැකි වෙන්නේ. ඒ වෙනුවෙන් ඔබ දේශපාලන නීන්දුවක් ගන්න කියලා අපි ආරාධනා කරනවා. යැයි සමන්මලී ගුණසිංහ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *