ස්ටොක්හෝම් දූපත් සමූහයේ පිහිටි මුස්කෝ නාවික හමුදා කඳවුරට ආසන්නයේ රුසියානු ජාතිකයෙකුට අයත් ඉඩම් පරිශ්‍රයක් රජයට පවරා ගන්නා ලෙස ස්වීඩන සන්නද්ධ බලකායන් ස්වීඩන රජයෙන් නිල වශයෙන් ඉල්ලා සිටි බව Reuters පුවත් සේවය වාර්තා කරයි.
මෙම සංවේදී හමුදා කඳවුර ආසන්නයේ පිහිටි විදේශිකයන් සතු ඉඩම් මගින් ස්වීඩනයේ ජාතික ආරක්ෂාවට සහ රහස්‍යභාවයට බරපතල තර්ජනයක් එල්ල විය හැකි බවත්, විශේෂයෙන් පවතින ගෝලීය භූ-දේශපාලනික උණුසුම හමුවේ උපායමාර්ගිකව වැදගත් ස්ථාන ආරක්ෂා කරගැනීම අත්‍යවශ්‍ය බවත් හමුදා බලධාරීන් පෙන්වා දී තිබේ.
රුසියානු යුක්‍රේන යුද්ධය ආරම්භ වීමෙන් පසුව සහ ස්වීඩනය නේටෝ සංවිධානයට එක්වීමෙන් පසුව, රුසියානු පෞද්ගලික ආයෝජකයන් විසින් ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ ආරක්ෂක කලාප ආසන්නයේ මිලදී ගෙන ඇති දේපළ පිළිබඳව උතුරු යුරෝපීය රටවල් දැඩි නිරීක්ෂණයක පසුවන අතර, මෙම පියවර ස්වීඩනයේ ආරක්ෂක ප්‍රතිපත්තියේ දැඩිවීමක් පෙන්නුම් කරයි.
















