27 April 2024
#දේශීය

මධ්‍යම රජය සහ පළාත් සභාව එක රාජ්‍ය ප්‍රතිපත්තියක වැඩකළ යුතුයි – ජනපති කියයි

ජනතාවගේ සෑම අවශ්‍යතාවයකටම රාජ්‍ය සේවකයෙකුගේ මැදිහත් වීම සිදු විය යුතු අතර සියලුම රාජ්‍ය ආයතන වෙතින් නිසි අයුරින් ජනතා සේවය ඉටුවනු දැකීම තම බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රජයේ ඉදිරි සැලසුම් පිළිබඳ දැනුවත් කිරීමට ඊයේ (23) පෙරවරුවේ රාජ්‍ය නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවේ දීය.

තමා රාජ්‍ය ආයතන වෙත පෞද්ගලිකවම ගොස් අධීක්ෂණය කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද තමන් යටතේ ඇති ආයතන වෙත ගොස් අවශ්‍යතා සපුරාලමින්, සියලු සේවකයන් දිරිගන්වමින් ඉහළ අධීක්ෂණයක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළේය.

අප ඉන්නේ ජනතාව ජීවත් කරවීමට බවත් ඊට පරිසරය සැකසිය යුතු අතර එහිදී නිලධාරීන්ගේ යුතුකම, වගකීම සහ මානුෂිකත්වය ද ඉතා වැදගත් බව ජනාධිපතිවරයා පැවසීය.

සේවා ඉටු කිරීමේ දී මධ්‍යම රජය සහ පළාත් සභාව යටතේ ඇති ආයතන ක්‍රියාත්මක විය යුත්තේ එකම රාජ්‍ය ප්‍රතිපත්තියක බව ජනාධිපතිවරයා විසින් අවධාරණය කෙරිණ.

අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ, පළාත් හා දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *