27 April 2024
#දේශීය

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 21 ඇරඹෙන බව අධ්‍යාපන ඇමැති කියයි

ජනවාරි මාසයේ පැවැත්වීමට තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 පෙබරවාරි මස 21වන සඳුදා සිට මාර්තු 03වන බ්‍රහස්පතින්දා දක්වා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (26) නෙළුම් මාවතේ පැවති පොදුජන පෙරමුණු මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

පාසල් හැකි ඉක්මනින් ආරම්භ කිරීමේ පරමාර්ථය පෙරදැරි ව මේ වනවිට දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක වන ගුරුවරුන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩල එන්නතරකරණ වැඩසටහන මේ වන විට 77%ක් පමණ අවසන්කර ඇති බව අමාත්‍යවරයා පැවසිය.

ඒ අනුව බස්නාහිර පළාතේ 98%ක්, දකුණු පළාතේ 83%ක්, වයඹ පළාතේ 82%ක්, උතුරු මැද පළාතේ 82%ක්, ඌව පළාතේ 80%ක්, මධ්‍යම පළාතේ 79%ක්, උතුරු පළාතේ 62%ක්, සබරගමු පළාතේ 52%ක් සහ නැගෙනහිර පළාතේ 48%ක් වශයෙන් එම එන්නත්කරණය අවසන්කොට ඇති අතර අද උදෑසන වනවිට මෙම වැඩසටහන යටතේ 2 22 940ක ප්‍රමාණයක් එන්නත් ලබා දී තිබෙන බව හෙතෙම පැවසිය.

එන්නත්වල දෙවන මාත්‍රාව අගොස්තු අවසානයට පෙර ලබාදීමට ද අපේක්ෂිත අතර ඒ අනුව අගෝස්තු මස අවසානයේ හෝ සැප්තැම්බර් මස මුල කිසියම් සැලැස්මකට අනුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත් ව පියවරෙන් පියවර පාසල් ආරම්භ කිරීමට අපේක්ෂිත බව අමාත්‍යවරයා කියා සිටියේය.

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටළුව විසඳීමට රජය තමන්ට හැකි සෑම උත්සාහයක් ම ගන්නා බව ත් මෙම තත්ත්වය අවුරුදු 24ක් තිස්සේ පැවැති තත්ත්වයක් බව ත් පැවසූ අමාත්‍යවරයා තම රජය මේ ගැටලුව සම්බන්ධ ව සංවේදී ව සිටි බවත් පැවසී ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *