27 April 2024
#දේශීය #පුවත්

ඩෙංගු මදුරු මර්දන සහ පාලන ජාතික වැඩසටහන් මාලාව ආරම්භ කෙරේ

ඩෙංගු මදුරු මර්දන සහ පාලන කටයුතු වෙනුවෙන් විශේෂ ජාතික මට්ටමේ වැඩසටහන් මාලාව ඊයේ (07) ආරම්භ කෙරිණ. ඒ. ජනාධිපතිවරයාගේ මගපෙන්වීම සහ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි මෙය ක්‍රියාත්මක වේ.

“ඔබේ පරිශ්‍රය මදුරුවන් බෝවීමට නොහැකි ලෙස තබාගන්න” යන්න තේමා කර ගනිමින් ඊයේ (07) සිට (13) දක්වා වෛද්‍ය නිලධාරි කාර්යාල කෙන්ද්‍ර කරගෙන ඩෙංගු අවධානම් කළාපයන්ට මූලිකත්වය දෙමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහනේ බස්නාහිර කොළඹ දිස්ත්‍රික්කයේ සමාරම්ක වැඩසටහනක් සෞඛ්‍ය ‌ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් කොම්පඤ්ඤවීදිය වැල්ලවත්ත සහ විජේරාම ප්‍රදේශවලින් ආරම්භ විය.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මගපෙන්වීම මත ඩෙංගු රෝගය පාලනය හා මර්දනය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (07) සිට (13) දක්වා ජාතික ඩෙංගු මර්ධන සතියක් දිවයින පුරාම ක්‍රියාත්මක කරන බවයි.

මෙය සඳහා ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රමුඛ සියළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ඇතුලු කණ්ඩායම් සම්බන්ධ කර ඒකාබද්ධව මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව ද පැවැසීය.

2023 වසරේ ඩෙංගු රෝගීන් 88,398 ක් සහ මරණ 58 ක් වාර්තා වු බවත්. සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකා පොලීසිය හා යුධහමුදාව ඒකාබද්ධව පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක් සෞඛ්‍ය අමාත්‍යාශයේ ස්ථාපිත කර ඇති බවත්, මදුරුවන් බෝවන ස්ථාන වෙතොත් ඒ බව 0117 966 366 දුරකථනයට දැනුම් දිය හැකි බව ද පසුගිය දවසේ දුරකථන ඇමැතුම් 37 ක් ලැබී ඇති බව සෞඛ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවන් සදහා ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුලු ගම්වාසීන් විශාල පීරිසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *