ඝර්ම නව කතාවක් ලෙස වැදගත්ද යන්න කතා කිරීමට වඩා උසස් විචාරක කවයකට විවර විය යුතුය.නමුත් මේ මොහොතේ ඝර්ම වැදගත් වන්නේ වඩාත් පහසු එළිදැක්වීමකට ඉඩ තිබියදී එය අත හරින තැන නිසාය.
ඒ මේ මොහොතේ ලාංකේය ජන සමාජයේ ඓතිහාසික අරගලභූමිය වන ගෝඨාගෝගම පුස්තකාලයටය.උත්සව නැත.හෘදයම සංවේදී බව කැටුව පැමිණි කතුවරයා එක් ඡායාරූපයක් මතක සටහන් කොට තබාගෙන ධර්ම එහි තැන්පත් කර යන්නේය.
මෙහි කතුවරයා තිලංග ෆොන්සේකා පත්තරකාරයෙක් ලෙස හැඳීන්වීම වඩාත් යෝග්‍යය.ඔහු ලක්බිම මෙන්ම ලක්බිම නිව්ස් පුවත්පත්වලද සේවය කළේය.
එහෙත් ඊට ඌන පූර්ණයක් එකතු විය යුතුය.ඔහුට කුඩා කාලයේ පටන් ජීවිතයට එකතු වූයේ ජීවිතය විඳින මිනිස්සුය.ඒ සිය දෙමව්පියන් විසින් ජීවිතය කොට හඳුනාගෙන සිටි සංගතය නිසාය.
එය ද සරල පහසු කටයුත්තක් නොවේය.ඔවුන්ගේ ආත්මීය භාෂනය රැඳී තිබුණේ ශාස්ත්‍රීය සංගීතය සමඟය.එයින් ලද ශික්ෂණය,අභාෂය සහ දයාබරිතබව නිරන්තරයෙන් ඔහුගේ ජීවිතයේ තිබුණ ද,ඔහුගේ සොහොයුරා සම්මානනීය සංගීත අධ්‍යක්ෂවරයෙක් මෙන්ම සරසවි ඇඳුරෙක් වන භාගේශ්‍රී ෆොන්සේකා තරම් සංගීතය සිය ප්‍රකාශන මාධ්‍ය ලෙස යොදා ගන්නට තිලංග ෆොන්සේකා උත්සුක නොවූවේය.
නැවත ගෝඨාගෝගමට එන කතුවරයා ගැන පැවසුවහොත් ඔහු සිය කෘතිය එළි දැක්වීම ද සිහියේ තබාගෙන ශ්‍රී ලංකාවට එන්නේ මෙල්බර්න් නුවර සිටය.මන්ද මේ වන විට ඔහු පදිංචිව සිටින්නේ ඕස්ට්‍රේලියාවේ බැවින්ය.ඒ පැමිණ සිය දරුවාට මේ රටේ මිනිසුන්ගේ වේදනාව සහ දුශ්කරතාවයත්,පීඩනය විසින් ඇත් කර තිබෙන අරගලයේ උවමනාවත් වඩාත් හොඳින් ග්‍රහණය කර ගන්නට දින කිහිපයක්ම ගෝල්ෆේස් ආසන්නයේ හෝටල් කාමරයක රැඳෙමින් අරගලයට දායක වෙමින් ඇයට සිය මව්බිමේ මිනිසුන් වෙනුවෙන් හඩ අවදි කළ යුතු බව අවධාරණය කිරීමම අපූරුය.
ඒ අනුව පවුල ඒකාත්මිකව ගන්නා තීරණය වූයේ අරගලබිම තුළ පුස්තකාලයට සිය මංගල සාහිත්‍යය කතිය පිදුම හැර අන් උතුම් කටයුත්තක් නොමැති බවය.ඒ නිසා මේ පිදුම උතුම්ය.
සරලව පැවසුවහොත් ස්වීය පරම්පරාවේ ඉහළින් අහිමි කරන ලද උරුම භෞතික හැඩය පසුපස කාල තරණයක නියැලෙමින් හඹා යන තීර්ථනම් තරුණයෙක්ගේ ජීවිතාවබෝධය ඝර්ම කෘතියේ පසුබම වන්නේය.ඒ වන්දනාව තුළ තීර්ථ විදින ජීවන අත්දැකීම් සමාජයේ දේශපාලනික සහ ආගමික මිත්‍යාවන් ස්පර්ශ කරමින් ඒවා යම් සරදමකට ලක්වෙන ආකාරයේ හැඟීම් පදාසයක් සමඟ සමාජීය වශයෙන් සාකච්ඡාවට ගන්නා ආකාරය අපූරුය.විටෙක එය ඓතිහාසික විවරණයක්ය.ඒ ඓතිහාසික විවරණය වර්ථමාන දේශපාලනික සංස්කෘතියේ ඇති පාදඩ ලක්ෂණ සමඟ ඇති ඓතිහාසික බැඳීම මෙන්ම වර්ථමානය දක්වා වැඩෙනාකාරය ද කතුවරයා පරිස්සමට අතුරා ගන්නට දක්වන සමත්කමෙහි යම් අපූර්වත්වයක් ඇත.
ඝර්ම වඩා ඉහළ තලයක විවේචනවලට සහ සංවාදවලට උචිත වෙලුමක්ය.එය ඒ සඳහා ඉතුරු කර තැබිය යුතුය.එහෙත් කෘතියේ සාධනීය විවරණයන් සමඟ එය සාහිත්‍යය පරිශිලනය කරන්නෙක් භාවිතයට ගත යුතු මෙවලමක් බව කිව යුතුය.එසේම එය කතුවරයාට පසුබිම් වන සමාජ සබඳතා සහ ඉඩ හසර සියල්ල අත හැර මේ මොහොතේ වඩාත්ම ගෞරවණීය බිම ලෙස “ගෝඨාගෝගම” පුස්තකාලය සළකා එහි ගොස් එහි මංගල පිඳුම තැබීමම අපූරුය.ගෞරවයට පාත්‍ර විය යුතුය.
සටහන – නිෂ්මන් රණසිංහ