හොරණ, වගවත්ත ප්‍රදේශයේ කළු ගඟ ආශ්‍රිතව නවීන යන්ත්‍ර යොදාගනිමින් අනවසරයෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හොරණ මූලස්ථාන පොලිසිය සමත්ව තිබේ. අද (12) අලුයම 1.00ට පමණ සිදුකළ මෙම වැටලීමේදී රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා මැණික් ගැරීමේ යන්ත්‍ර සහ උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇත.
පානදුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම, ජීවිත අවදානම ද නොතකා ගඟේ පීනා ගොස් මෙම වැටලීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35 සහ 54 යන වයස්වල පසුවන බොරලුගොඩ, මානාන සහ නිවිතිගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
පොලිසිය පවසන පරිදි මෙම පිරිස කලක පටන් සූක්ෂ්ම ලෙස මෙම ජාවාරමේ නිරත වී ඇති අතර, මීට පෙර අවස්ථාවලදී පොලිසිය මඟහැර පලා යාමට ද සමත්ව තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














