සිංගප්පූරු සත්වෝද්‍යානයේදී පසුගිය ජනවාරි 01 වැනිදා උපත ලැබූ ශ්‍රී ලංකාවට ආවේණික කොටියාගේ පැටවුන් තිදෙනා ප්‍රථම වරට ප්‍රසිද්ධියේ දැකබලා ගැනීමට අද (16) සිට අවස්ථාව සලසා දී තිබේ. ‘යාල’ මවට සහ ‘අසංක’ පියාට දාව උපන් මෙම පැටවුන් තිදෙනා (පිරිමි සතුන් දෙදෙනෙකු සහ එක් ගැහැණු සතෙකු) සිංගප්පූරු සත්වෝද්‍යානයක ශ්‍රී ලංකා කොටියෙකු උපත ලැබූ වසර 30කට පසු වාර්තා වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
ලෝකය පුරා විසිරී සිටින සත්වෝද්‍යානවල සිටින ශ්‍රී ලංකා කොටියන් 80 දෙනා අතරට මෙම පැටවුන් තිදෙනා ද එක්වන අතර දැනට ස්වභාවික පරිසරයේ වෙසෙන්නේ කොටියන් 800කට අඩු සංඛ්‍යාවකි. එම නිසාම මොවුන් IUCN රතු දත්ත පොතේ ‘තර්ජනයට ලක් වූ’ (Vulnerable) විශේෂයක් ලෙස නම් කර ඇත.
අද (16) සිට මැයි මැද භාගය දක්වා දිනපතා සත්වෝද්‍යානයේ ‘Wild Africa’ ප්‍රදර්ශන පරිශ්‍රයේදී මෙම පැටවුන් දැකබලා ගත හැකි අතර ඉන් අනතුරුව සෑම බදාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනකම ඔවුන්ව ප්‍රදර්ශනය කෙරේ.
මාස කිහිපයක් වයසැති මෙම පැටවුන් තිදෙනා මේ වන විට ඉතා නිරෝගී මට්ටමේ පසුවන බවත්, ඔවුන්ගේ නළලේ ඇති ලප රටා සහ හැසිරීම් අනුව ඔවුන්ව වෙන් කර හඳුනාගත හැකි බවත් සත්වෝද්‍යාන නිලධාරීන් පවසයි.
මෙයට අමතරව සිංගප්පූරු සත්වෝද්‍යානය 2026 වසරේ මුල් මාස හතර තුළදී බෝර්නියෝ ඔරන්ඔටන් පැටවෙකු සහ පැන්ගෝලින් (කැබැල්ලෑ) පැටවෙකුගේ උපත් ද සාර්ථකව සිදු කර ඇති බව මන්ඩායි වනජීවී සමූහය (Mandai Wildlife Group) සඳහන් කරයි.














