ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ගෝලීය වශයෙන් ගුවන් යානා ඉන්ධන (Jet Fuel) හිඟයක් ඇතිවීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර බලශක්ති ආයතනය (IEA) අනතුරු අඟවයි. ලෝක තෙල් සැපයුමෙන් සියයට 20ක් සිදුකරන මෙම මුහුදු මාර්ගය අවහිර වීම නිසා එළඹෙන මැයි හෝ ජුනි මාස වන විට ගුවන් ගමන් අවලංගු කිරීමට පවා සිදුවිය හැකි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
යුරෝපය සිය ගුවන් යානා ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 30කට වඩා වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා වන අතර මැදපෙරදිගින් අහිමි වන ඉන්ධන සැපයුමෙන් සියයට 50ක්වත් සොයා ගැනීමට අපොහොසත් වුවහොත් ජුනි මාසය වන විට යුරෝපයේ ඉන්ධන සංචිත බරපතළ මට්ටමකට පහත වැටෙනු ඇත.
පවතින තත්ත්වය මත ගුවන් ගමන් විශාල වශයෙන් අවලංගු වීමේ අවදානමක් පවතින බව රයිස්ටැඩ් බලශක්ති ආයතනය සහ ජාත්‍යන්තර බලශක්ති ආයතනය පුරෝකථනය කර තිබේ.
ඉන්ධන හිඟයක් ඇතිවීමේ ලකුණු පහළ වී ඇති බව යුරෝපීය කොමිසම පිළිගෙන ඇති අතර හෝමුස් සමුද්‍ර සන්ධියේ අවහිරතා හේතුවෙන් ආසියානු කලාපයට ද මෙහි බලපෑම දැඩිව එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














