දිනකට දුම්රිය ගමන් වාර 360ක් පමණ ධාවනය විය යුතු වුවත්, මේ වන විට ධාවනය වන්නේ දුම්රිය 150කට ආසන්න සංඛ්‍යාවක් පමණක් බව ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ ඉන්දික දොඩන්ගොඩ මහතා පවසයි. දුම්රිය පාලනාධිකාරිය සතුව ප්‍රමාණවත් දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල පැවතියද, ඒවා නිසි පරිදි ධාවනයට එක් නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බව ඔහු පෙන්වා දෙයි. මෙලෙස දුම්රිය ගමන් වාර සීමා වීම සහ පවතින දුම්රියන් ද නියමිත වේලාවට ධාවනය නොවීම හේතුවෙන් දුම්රිය මගීන් දැඩි පීඩාවකට පත්ව සිටිති.
උදාහරණයක් ලෙස, පසුගිය දිනක කොළඹ කොටුවේ සිට මහව හන්දිය දක්වා ධාවනය වූ දුම්රිය විනාඩි 54ක් ප්‍රමාද වී ආරම්භ වී ඇති අතර, එය සිය ගමනාන්තයට ළඟා වන විට මගීන්ට තම නිවෙස් බලා යාමට තිබූ බස් රථ සේවා ද මගහැරී තිබේ. මේ හේතුවෙන් රාත්‍රී කාලයේදී මගීන්ට අධික පිරිවැයක් දරා ත්‍රීරෝද රථ භාවිත කිරීමට සිදුවන බව ද වෘත්තීය සමිති නායකයා වැඩිදුරටත් සඳහන් කළේය. දුම්රිය එන්ජින් නඩත්තු ගැටලු, සේවක හිඟය සහ පසුගියදා පැවති ‘දිට්වා’ සුළි කුණාටුවෙන් මාර්ග පද්ධතියට සිදුවූ හානි තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර නොමැති වීම මෙම අර්බුදයට ප්‍රධාන හේතු වී ඇත.














