27 April 2024
#ක්‍රීඩා

කෙන්යාවෙන් මෙරට දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවක් – අමාත්‍ය නාමල්

පසුගියදා කෙන්යානු ක්‍රීඩා අමාත්‍යවරිය සිදු කල සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙරට මැදි දුර සහ දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙම අවස්ථාව ලබාගත් බව ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාව හා කෙන්යානු රාජ්‍යය අතර ද්විපාර්ශ්වික හා ජන සමාජ අතර මිත්‍රත්වය වර්ධනය කරගැනීම සඳහා ඵලදායි හමුවීම් කිහිපයකට සහභාගී වූ අමාත්‍යවරයා, විශේෂයෙන්ම එහිදී කෙන්යානු ක්‍රීඩා අමාත්‍යවරිය වන ආචාර්ය අමීනා මොහොමඩ් මහත්මිය සමග මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා මට්ටම තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳව සාකච්ඡා කළේය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාව හා කෙන්යාව අතර ක්‍රීඩා ක්ෂේත්‍රයේ සම්පත් මෙන්ම ප්‍රවීනයන්ගේ අත්දැකීම් ද හුවමාරු කරගනිමින් සහයෝගයෙන් ක්‍රියා කිරීමට එකගත්වය පළවිය.

ඒ අනුව‍, මෙම වසර අවසානයේ හෝ ලබන වසරේ මුල් කාර්තුව තුළ මධ්‍ය සහ දිගුකාලීන පුහුණුවීම් සඳහා ශ්‍රී ලාංකික මැදි දුර සහ දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකු කෙන්යාව බලා පිටත් කරයැවීමට නියමිතයි.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ දස්කම් දක්වන අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි පුහුණුව හා නිරන්තර දිරිගැන්වීම් ලබාදෙමින් ඔවුන්ගේ දක්ෂතා ඔප මට්ටම් කරගැනීමට ඉඩ ප්‍රස්තාව සලසාදීමේ අරමුණින් මැදි දුර සහ දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙම අවස්ථාව ලබාගැනීමට අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන Eliud Kipchoge (5000m – Men), Abel Kirui ( marathon – Men), Ezekiel Kemboi (3000m – Men), Hellen Obiri (5000m – Women), Beatrice Chepkoech (3000m – Women – steeplechase) වැන්නන් බිහි කළ කෙන්යාව වැනි රටක පුහුණුව ලැබීම ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන මහඟු අවස්ථාවකි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *